Pages

Search This Blog

Friday, 15 November 2024

Supportive Partner ට, පරිණත යැයි සිතන පෙම්වතාගෙන්...

 


Supportive Partner ට,
පරිණත යැයි සිතන පෙම්වතාගෙන්...


මේ නොවැම්බර් මාසයේ නිශ්චිතවම එක දිනයක ඔයාගේ උපන්දිනය තියෙන වග මම හොඳටම දන්න දෙයක්. ඉතිං මේ සටහන අද මම ලියන්නේ ඔයාගේ උපන්දින සටහන ලෙසයි,
මගේ හිතුවක්කාර ළමයෝ... ❤️‍🩹

Supportive Partner කියන වචනය මට ඇහෙන්නේ 2024 ඔක්තෝම්බර් 19 දින උදෑසන 4.37 ට කැළණිය විශ්ව විද්‍යාල භූමියේ දී. මට මේ අහිංසක වචනය ඇහුණ ගමන් එකවරම මතකයට නැගුණේ ඔයාවයි.
ඒ ඇයි කියලා ඔයා දන්නවාද ?

"Listening to, caring for, and helping your significant other so they know that you're there for them, no metter what they're going through."
( in Google )


සමහර වචන වලට අයිතිකාරයෝ ඉන්නවා ලමයෝ. මෙන්න මේ Supportive Partner කියන, මගේ ශබ්ද කෝෂයට අයත් වචනයේ අයිතිකාරයා ඔයා. මගේ ජිවිතේ අසීරුම කාලයක (මට Depression හැදුණ) මං ළඟට ඇවිදින් මාව අත නොහැර, මං ළඟම හිටියාට ඔයාට මුලින්ම ස්තුතිය.

" කෙනෙකු පිළිබඳ හැඟීම්බරවීම, කෙනෙකුගෙ ස්පර්ශයක් වෙනුවෙන් මඟ බලා සිටීම, කෙනෙකුගෙ ඇමතුමක් වෙනුවෙන් කල්ප කාලයක් බලා සිටීම ආදරය විය හැකි යැයි.. "

- පිටුව 91 -
මන්දෝදරි


💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

මං හැමදාම කියනවා වගේ අපි දෙන්නා දශකයන් දෙකක, චින්තනයන් දෙකක මිනිස්සු දෙන්නෙක්. ඔයා මට ආදරේ කරන්නේ මට වඩා හාත්පසින්ම වෙනස් විදිහට, මං ඔයාට ආදරේ කරන්නේ ඔයාට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. මේ නිසාම අපි අතර සමහර අවස්ථාවන් වලදී ගැටුම් ඇති නොවුණාම නෙවෙයි. සමහර ගැටුම් වල ප්‍රතිඵල දවස්, සති, මාස ගණන් කතා නොකර සිටිම දක්වා දිව යන්නට වුණා. නමුත් අපි දෙදෙනා සැම විටම අපිම වන්නට වු අතර, තවත් ආගන්තුකයෙකුට අප අතරට එන්නට නොහැකි වන තරමට අපි අපිට ප්‍රේම කර අවසන්‍ වී සිටියෙමු.

" ජිවිතේ කියන්නෙම විරිතකට ගනු බැරි කවක්
ප්‍රේමය කියන්නෙම උයනක පිපෙන මලක්
මල්වලට ආකෘති හැදිම මිනිසුනී පවක්
ප්‍රේමයට කොහින්ද ස්ත්‍රි - පුරුෂ බවක් "

- අපේ කවිය -
විතකින් ඉහිරුණු බීර බිඳක්


🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අපේ පළමු හමුවීම පිළිබඳව මට නිශ්චිතවම මතකයක් නැතත්, අපි හමු වු හැම හමුවීමක්ම මට මතකයක් රැසක එකතුවකී. මට තවම මතකයි අපි දෙන්නා හමු වුණ හැමවෙලාවකම ඔයා, අපි දෙන්නා වෙන් වෙන්න කලින් එක 📸 ගන්නවා, අදටත් ඒවා ඔයා පරිස්සමෙන් අරන් තියලා ඇති. මට ඔයාගේ ආදරේ ගැන කවමදාකවත් අවිනිශ්චිතතාවක් තිබුණේ නෑ ළමයෝ. ඒ ඔයා මගේ පලමු හෝ එකම ආදරේ නොවිම නිසායි. ඔයාට කලින් මම සම්බන්ධතා කිහිපයක් පසු කර ආ බවත් ඔයා නොදන්නවා ම නෙවෙයි. නමුත් ඔයා මට හැමදාම කිව්වේ " ඔම්ශාන් මට ඔනේ ඔයාගේ අන්තිම ආදරේ වෙන්න විතරයි ළමයෝ කියල යි "

" අපි දෙන්නා මැරුණහම ඒක කෙළවර වෙයි. ඔයා මුලින් මැරුණොත් මාත් ඒ එක්කම මැරෙයි. මැරුණෙ නැත්නම් මං මතකෙත් එක්ක ජීවත් වෙන්නම්. මං මුලින් මැරුණොත් ඔයත් ඒ එක්ක ම මැරෙයි. මැරුණෙ නැත්නම් මතකෙත් එක්ක ජීවත් වෙන්න. ඉතිං එච්චරයි නේ. අපේ ආදරේට ඊට වඩා කෙළවරක් ඕනද?"

- ඉෂා සිරිනිවාසන් -
කොළ පාට ඇස්


🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢

" ඔයාට හැමදාම තිබ්බේ හැඩි දැඩි දඩබ්බර ගති පැවතුම්, හිතුවක්කාර හා ඒකාධිපති තිරණ විතරයි " කියලා මම ඔයාට නොකියපු දවසක් නැති තරම්. ඒ වගේ දවසක ඔයා මගෙන් අහන්නේ " මාව දාලා යනවාද ඔම්ශාන් " කියලායි. මම එදාට මහාම මහ හයියෙන් හිනාවෙලා කියනවා, " ඔව් !!! මම තමුසේව දාලා පෘථිවියෙන් අඟහරු ග්‍රහ ලෝකයට රොකට් එකකින් පැනලා යනවා කියලා "

" ඔබට රිදවන්නේ " ආදරය " නොවේ, ආදරය කරන්නේ කෙසේදැයි නොදන්නා "මිනිසුන්ය " !

- පිටුව 52 -
ලිලැක්


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දවසක් මම ඔයාගෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා. " මම ඔයාව දාලා ගියොත් ඔයා මොකද කරන්නේ කියලා " ඔයා ඒදා මට කිව්වේ මම කවමදාකවත් හිතුවෙත් නැති උත්තරයක් ළමයෝ.
" ඔම්ශාන් ඔයාගේ සතුට තියෙන්නේ වෙන කෙනෙක් ළඟ නම්, මමත් ඇත්තටම ඔයාට ආදරෙයි නම් කොහොමද ඔයාව මං ළඟ නතර කරගන්නේ " කියලා. ඇත්තටම මට එදා ඔයාව බදාගෙන අඩන්න තරම් දුකක, වේදනාවක හිටියත් ඔයා හිටියේ මට වඩා 152 KM දුරින් මගේ හිතුවක්කාර ළමයෝ.

" මිනිස්සු  මැරෙන්නෙ අපි එයාලව අමතක කරද්දී විතරයි "

- ඉසබෙල් අයියන්දේ -
ඊවා ලූනා කෘතිය


❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤

ඔයාට මතකද අපි දෙන්නා පලවෙනී පාරට හා අන්තිමේ පාරට එකට අඬපු දවස. ඒ 2023 දෙසැම්බර් 04 වෙනිදා රෑ 11.51 ට ඔයා මට කෝල් එකක් අරගත්තා. එදා අපි දෙන්නා එක වචනයක්වත් කතා නොකර විනාඩි 17 ක් එක දිගටම ඇඩුවා. එදා ඔයා මට පොරොන්දු වුණා මේ අපි දෙන්නා අඬන අන්තිම දවස ළමයෝ කියලා. මමත් ඔව් ඒ දේ එහෙමම වෙන්න කියලා තරු නැති අහස බලලා හිල්ලුවා.

" අහුලාගෙන පෙන්නද්දී ළඟට ගොස්
තරුවක්
කියවලා මං නුඹට ලිව්ව එක
කවියක්
නොපෙනෙන්න දුර ගිහින් ඉකිගගා
වරුවක්
අමාවක කියන්නෙම හඳ අඩන
දවසක් "

- 34. අමාවක -
අම්මපයි මං කඩුව දුන්නා

❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

ඔයා කිව්වා හරි,
අන්තිමේට මගේ ජිවිතේ අවසාන ආදරේ ඔයා විතරක් ම වුණා ළමයෝ...
සුභ උපන්දිනයක් වේවා මැණික ❤️‍🩹

මේ පොත් තුන,
ඔයා එනකං
ඔයා ගාව
ඔයාව මඟ බලමින් හිඳීවී...
ඔයාට, ඔයා ඇතුළේ ඉන්න
මාව හොයලා දෙන්න උත්සහ කරාවී...

HaPpY BiRtHdAy 🎂 

✒️ ඔම්ශාන් ©️