Pages

Search This Blog

Friday, 15 November 2024

Supportive Partner ට, පරිණත යැයි සිතන පෙම්වතාගෙන්...

 


Supportive Partner ට,
පරිණත යැයි සිතන පෙම්වතාගෙන්...


මේ නොවැම්බර් මාසයේ නිශ්චිතවම එක දිනයක ඔයාගේ උපන්දිනය තියෙන වග මම හොඳටම දන්න දෙයක්. ඉතිං මේ සටහන අද මම ලියන්නේ ඔයාගේ උපන්දින සටහන ලෙසයි,
මගේ හිතුවක්කාර ළමයෝ... ❤️‍🩹

Supportive Partner කියන වචනය මට ඇහෙන්නේ 2024 ඔක්තෝම්බර් 19 දින උදෑසන 4.37 ට කැළණිය විශ්ව විද්‍යාල භූමියේ දී. මට මේ අහිංසක වචනය ඇහුණ ගමන් එකවරම මතකයට නැගුණේ ඔයාවයි.
ඒ ඇයි කියලා ඔයා දන්නවාද ?

"Listening to, caring for, and helping your significant other so they know that you're there for them, no metter what they're going through."
( in Google )


සමහර වචන වලට අයිතිකාරයෝ ඉන්නවා ලමයෝ. මෙන්න මේ Supportive Partner කියන, මගේ ශබ්ද කෝෂයට අයත් වචනයේ අයිතිකාරයා ඔයා. මගේ ජිවිතේ අසීරුම කාලයක (මට Depression හැදුණ) මං ළඟට ඇවිදින් මාව අත නොහැර, මං ළඟම හිටියාට ඔයාට මුලින්ම ස්තුතිය.

" කෙනෙකු පිළිබඳ හැඟීම්බරවීම, කෙනෙකුගෙ ස්පර්ශයක් වෙනුවෙන් මඟ බලා සිටීම, කෙනෙකුගෙ ඇමතුමක් වෙනුවෙන් කල්ප කාලයක් බලා සිටීම ආදරය විය හැකි යැයි.. "

- පිටුව 91 -
මන්දෝදරි


💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

මං හැමදාම කියනවා වගේ අපි දෙන්නා දශකයන් දෙකක, චින්තනයන් දෙකක මිනිස්සු දෙන්නෙක්. ඔයා මට ආදරේ කරන්නේ මට වඩා හාත්පසින්ම වෙනස් විදිහට, මං ඔයාට ආදරේ කරන්නේ ඔයාට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. මේ නිසාම අපි අතර සමහර අවස්ථාවන් වලදී ගැටුම් ඇති නොවුණාම නෙවෙයි. සමහර ගැටුම් වල ප්‍රතිඵල දවස්, සති, මාස ගණන් කතා නොකර සිටිම දක්වා දිව යන්නට වුණා. නමුත් අපි දෙදෙනා සැම විටම අපිම වන්නට වු අතර, තවත් ආගන්තුකයෙකුට අප අතරට එන්නට නොහැකි වන තරමට අපි අපිට ප්‍රේම කර අවසන්‍ වී සිටියෙමු.

" ජිවිතේ කියන්නෙම විරිතකට ගනු බැරි කවක්
ප්‍රේමය කියන්නෙම උයනක පිපෙන මලක්
මල්වලට ආකෘති හැදිම මිනිසුනී පවක්
ප්‍රේමයට කොහින්ද ස්ත්‍රි - පුරුෂ බවක් "

- අපේ කවිය -
විතකින් ඉහිරුණු බීර බිඳක්


🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අපේ පළමු හමුවීම පිළිබඳව මට නිශ්චිතවම මතකයක් නැතත්, අපි හමු වු හැම හමුවීමක්ම මට මතකයක් රැසක එකතුවකී. මට තවම මතකයි අපි දෙන්නා හමු වුණ හැමවෙලාවකම ඔයා, අපි දෙන්නා වෙන් වෙන්න කලින් එක 📸 ගන්නවා, අදටත් ඒවා ඔයා පරිස්සමෙන් අරන් තියලා ඇති. මට ඔයාගේ ආදරේ ගැන කවමදාකවත් අවිනිශ්චිතතාවක් තිබුණේ නෑ ළමයෝ. ඒ ඔයා මගේ පලමු හෝ එකම ආදරේ නොවිම නිසායි. ඔයාට කලින් මම සම්බන්ධතා කිහිපයක් පසු කර ආ බවත් ඔයා නොදන්නවා ම නෙවෙයි. නමුත් ඔයා මට හැමදාම කිව්වේ " ඔම්ශාන් මට ඔනේ ඔයාගේ අන්තිම ආදරේ වෙන්න විතරයි ළමයෝ කියල යි "

" අපි දෙන්නා මැරුණහම ඒක කෙළවර වෙයි. ඔයා මුලින් මැරුණොත් මාත් ඒ එක්කම මැරෙයි. මැරුණෙ නැත්නම් මං මතකෙත් එක්ක ජීවත් වෙන්නම්. මං මුලින් මැරුණොත් ඔයත් ඒ එක්ක ම මැරෙයි. මැරුණෙ නැත්නම් මතකෙත් එක්ක ජීවත් වෙන්න. ඉතිං එච්චරයි නේ. අපේ ආදරේට ඊට වඩා කෙළවරක් ඕනද?"

- ඉෂා සිරිනිවාසන් -
කොළ පාට ඇස්


🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢

" ඔයාට හැමදාම තිබ්බේ හැඩි දැඩි දඩබ්බර ගති පැවතුම්, හිතුවක්කාර හා ඒකාධිපති තිරණ විතරයි " කියලා මම ඔයාට නොකියපු දවසක් නැති තරම්. ඒ වගේ දවසක ඔයා මගෙන් අහන්නේ " මාව දාලා යනවාද ඔම්ශාන් " කියලායි. මම එදාට මහාම මහ හයියෙන් හිනාවෙලා කියනවා, " ඔව් !!! මම තමුසේව දාලා පෘථිවියෙන් අඟහරු ග්‍රහ ලෝකයට රොකට් එකකින් පැනලා යනවා කියලා "

" ඔබට රිදවන්නේ " ආදරය " නොවේ, ආදරය කරන්නේ කෙසේදැයි නොදන්නා "මිනිසුන්ය " !

- පිටුව 52 -
ලිලැක්


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දවසක් මම ඔයාගෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා. " මම ඔයාව දාලා ගියොත් ඔයා මොකද කරන්නේ කියලා " ඔයා ඒදා මට කිව්වේ මම කවමදාකවත් හිතුවෙත් නැති උත්තරයක් ළමයෝ.
" ඔම්ශාන් ඔයාගේ සතුට තියෙන්නේ වෙන කෙනෙක් ළඟ නම්, මමත් ඇත්තටම ඔයාට ආදරෙයි නම් කොහොමද ඔයාව මං ළඟ නතර කරගන්නේ " කියලා. ඇත්තටම මට එදා ඔයාව බදාගෙන අඩන්න තරම් දුකක, වේදනාවක හිටියත් ඔයා හිටියේ මට වඩා 152 KM දුරින් මගේ හිතුවක්කාර ළමයෝ.

" මිනිස්සු  මැරෙන්නෙ අපි එයාලව අමතක කරද්දී විතරයි "

- ඉසබෙල් අයියන්දේ -
ඊවා ලූනා කෘතිය


❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤

ඔයාට මතකද අපි දෙන්නා පලවෙනී පාරට හා අන්තිමේ පාරට එකට අඬපු දවස. ඒ 2023 දෙසැම්බර් 04 වෙනිදා රෑ 11.51 ට ඔයා මට කෝල් එකක් අරගත්තා. එදා අපි දෙන්නා එක වචනයක්වත් කතා නොකර විනාඩි 17 ක් එක දිගටම ඇඩුවා. එදා ඔයා මට පොරොන්දු වුණා මේ අපි දෙන්නා අඬන අන්තිම දවස ළමයෝ කියලා. මමත් ඔව් ඒ දේ එහෙමම වෙන්න කියලා තරු නැති අහස බලලා හිල්ලුවා.

" අහුලාගෙන පෙන්නද්දී ළඟට ගොස්
තරුවක්
කියවලා මං නුඹට ලිව්ව එක
කවියක්
නොපෙනෙන්න දුර ගිහින් ඉකිගගා
වරුවක්
අමාවක කියන්නෙම හඳ අඩන
දවසක් "

- 34. අමාවක -
අම්මපයි මං කඩුව දුන්නා

❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

ඔයා කිව්වා හරි,
අන්තිමේට මගේ ජිවිතේ අවසාන ආදරේ ඔයා විතරක් ම වුණා ළමයෝ...
සුභ උපන්දිනයක් වේවා මැණික ❤️‍🩹

මේ පොත් තුන,
ඔයා එනකං
ඔයා ගාව
ඔයාව මඟ බලමින් හිඳීවී...
ඔයාට, ඔයා ඇතුළේ ඉන්න
මාව හොයලා දෙන්න උත්සහ කරාවී...

HaPpY BiRtHdAy 🎂 

✒️ ඔම්ශාන් ©️

Monday, 28 October 2024

எலி பூனையை காதலிக்க முடியுமா? මීයෙක් පුසෙකුට පෙම් බඳින්න බැරිද ?


எலி பூனையை காதலிக்க முடியுமா?

මීයෙක් පුසෙකුට පෙම් බඳින්න බැරිද ?


අලියෙක් ට රෝස පාට තවරන්න බැරි ද யானைக்கு ரோஜா நிற வண்ணம் தீட்ட முடியாதா? ❤️‍🩹


❤️ உன்னை பார்த்தால் போதும்

எந்தன் அழகு குட்டி செல்லம்

இந்த ஜென்மம் தீரும்

எந்தன் அழகு குட்டி செல்லம் ❤


❤ ඔයාව දැක්කාත් ඇති, 

මගේ ආදරණීය හිතවත...

මේ ආත්මය ම ප්‍රමාණවත් ඒ වෙනුවෙන්, 

මගේ ආදරණීය හිතවත... ❤


පිය පාර්ශවයෙන් සිංහලත්, මව් පාර්ශවයෙන් දෙමළත් මට උරුම වෙන්නේ අහේතුකවයි කියලා නම් මම කවදාවත් විශ්වාස කරන්නේ නෑ. මොකද හැමදේකට ම කොහි දීපංකරේ හරි පුංචිම පුංචි හරි හේතුවක් තියෙනවා කියලායි පුංචි කාලේ ඉදංම මගේ ආච්චී අම්මා මට ඉගැන් වුයේ. 


❤️ நீ யார்….

நீ யாரோ நான்தான்

நீயாய் மாறினாய்

நான் யார்

நான் யாரோ நீதான்

நான் என்று கூறினாய் ❤


❤ ඔබ කවුද 

ඔබ කවුද ඔබ මම ය

මා ඔබම විය

මම කවුද 

මම කවුද මම ඔබම ය

මා ඔබ යැයි පැවසීය ❤


මට ඉගෙන ගන්න ඔනෑ ම වුණේ දෙමළෙන් වුණාත්, ඒ තිරණයේ තිරණයා මට ඒ අවස්ථාව නැති කලා. නමුත් කියවන්න, ලියන්න, කතා කරන්න පුලුවන් අවස්ථාව දෛවය විසින් මට අයාසයකින් තොරවම ලබා දුන්නා. සමහර අවස්ථාවන් වලදී ඒවා මගෙන් උදුරගන්න හැදුවද, බලෙන් උදුරා දමන්න උත්සහා කලද ඒ හැම අවස්ථාවකම මට උණුසුම්ම උණුසුම් මතක රැසක් උරුම වුණා මිසක් අමිහිරි වුණේ නෑ. අදටත් කැඩිච්ච සිංහල තමයි මට පුලුවන්, ඒ වගේම වචන ගෙත්තම් කරමින් තමයි දෙමළ කතා කරන්නත් පුලුවන්. සමහර වෙලාවන් වලදී මං හිතන දෙයක් තමයි මට සිංහලට වඩා දෙමළ ඉගෙන ගන්න තිබුණා නම් කියලා. මොකද මගේ චින්තනයේ සිට හුරුපුරුදු දක්වා හැමදේම ගොඩ නැගෙන්නේ දෙමළට හුරු පරිසරයක බැවින්. 


❤ நீ பேசும் பாசை

கேட்டால் போதும்

நான் கொண்ட எல்லா

துன்பமும் தீரும்

உன் பாதம் வீட்டில்

வந்தால் போதும்

உனக்காக வாழ்வேன் நான் ❤️


❤️ ඔබගේ හඬ ඇසීම ප්‍රමාණවත් 

මගේ දුක නිවාලන්න...

ඔයා මං ළඟ ගැවසිමත් ඇති 

ඔබ වෙනුවෙන් ජිවත් වෙන්න... ❤️


මම පුංචී කාලේ ඉදංම ආස කලේ දමිළ ප්‍රේමයකට, මන්ද මගේ අවට පරිසරය ගොඩ නැගිලා තිබ්බේ ම එහෙමයි. නානප්‍රකාර චාරිත්‍රා වාරිත්‍ර හා හුරුපුරුදු එක්කයි මම ගොඩ නැගෙන්නේ. මම ඔයා එක්ක පල්ලී ගියාට, මට ඔයා එක්ක යන්න ඔනේ වුණේම කෝවිලකට. පිච්ච මල් මිශ්‍ර කපුරු ගින්දර සුවඳට,කෝවිලේ හැම තැනකම පත්තුවෙන මැටි පහන් එළියට මම ගොඩාක් ආස කලා ළමයෝ. 


අත් දිගට ඇඳලා වෙට්ටිය ගෙට ගහගෙන හැම තැනකම ඇවිදින්න මම හීන මැව්වා. අඟහරුවාදට සිකුරාදාට මස් මාළු නොකා නිර්මාංශ වෙලා, ප්‍රාර්ථනා පුරන්න මට ඔනෑ වුණා. නමුත් ඒ හැමදේම හැමදාම වගේ අහේතුකව ම මගේ හීන සමතලා කලා. හරි අපහසු භාෂාවක් එක්ක බාර්ලින් තාප්ප සංස්කෘතියක් සමඟ මට අද ජිවත් වෙලා, ජිවත් වුණා.


ඔයා නොදන්නවා වුණාට මට ඔයාට ගොඩාක් දේවල් තේරුම් කරන්න නොතෙරෙන්නේ. ඔයාට මාව තේරුම් ගන්න අපහසු වෙන්නේ. මට තවම ඔයාගේ ඒ සිංහල පරිසරය නුහුරු නිසාමයි කියලා හිතෙනවා. අපි අතර හැම වෙලාවකම අදහස්, චින්තන, මතවාදි පරස්පරතා හට ගන්නෙම මේ නිසා කියලා, ඔයා නොකීවාට මට ඔයාව තෙරෙනවා ලමයෝ. මට ඔයාගේ පරිසරය තවත් එක සිරගෙයක් විතරයි. ඔයා මගේ පරිසරය තවත් සිරගෙයක් විතරයි. ඉදිං අපි වෙන් වී යා යුතු මොහොතයි මේ එළඹී ඇත්තේ කියා මා සිතමී. ප්‍රවේශමෙන් ඉස්සරහා ට යන්න, ඔබට සුභ ගමන් මගේ හුරතල් පුස් පැටියා වගේම මගේ රෝස පාට අලි පැටියෝ 😌😁


මේ உன்னை பார்த்தால் போதும்

ගීතය මාව ගොඩාක් ම රිදවපු වගේම, මට ඔයාව ගොඩාක් මතක් කරන දමිළ ගීත වලින් එකක්. 


අපිට වේලාවක් ලැබුණොතින් ඔයා ප්‍රසන්න විතානගේ මහතාගේ සිංහල චිත්‍රපටි නරඹද්දී මට මනිරත්නම්ගේ දමිළ චිත්‍රපටක් නරඹන්න ඉඩ දෙන කාලයක් ප්‍රාර්ථනා කරමු.  🖤❤️


අපේ ජිවිතවලට බලපෑම්කාරි වෙන අධ්‍යාපන, භාෂාව, ලිංගිකත්වය, ප්‍රේමය, විවාහය, ආගම යන දේවල්, සමහර මිනිස්සු තිරණය කරන්නේ හරිම අසාධාරණ ලෙස හා කිසිදු වග විභාගයකින් තොරවයි. ඔහුන් විසින් තින්දු කරන අපේ අනාගතය තුල ඔවුන් නොදැනුවත්වම අපව සිරකරුවන් කර හමාරයි.


මම ආයෙමත් අහන්නේ ?

අලියෙක් ට රෝස පාට තවරන්න බැරි ද ?

මීයෙක් පුසෙකුට පෙම් බඳින්න බැරිද ?


මට ඔනේ තවත් කුඩූ නොවී නිදහසේ මේ අහස පුරා අත්තටු ගසමින් ඉගිලෙන්න විතරමයි. ❤️ (ඔයාට පුලුවන්ද මං හොදට සිංහල ඉගෙන ගෙන එනකං බලාං ඉන්න 🥺)


✒️ ඔමී ©️

 

Wednesday, 11 September 2024

" වනචරයෙක් වගේ මගේ තොල් ඉඹින්න නෙවෙයි... ආදරවන්තයෙක් වගේ මගේ නළල ඉඹින්න... "

 

" වනචරයෙක් වගේ මගේ තොල් ඉඹින්න නෙවෙයි... ආදරවන්තයෙක් වගේ මගේ නළල ඉඹින්න... "

🖤🩶🤍   🖤🩶🤍   🖤🩶🤍   🖤🩶🤍


මන්දෝදරී ( පළමු කොටස ) 


මම පොත් වලට ගොඩාක් කැමති ඒවා මං ජිවත් වෙන අනාරක්ෂිත පරිසරයෙන් පුංචිම පුංචි හරි මොහොතකට මාව වියුක්ත කරන නිසායි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන මාතෘකාව අස්සේ හැමදාම තැලිලා පොඩි වෙන අපි වගේ මිනිස්සුට පොත් කියන්නේ ම නිර්වාණ සුවය ළගා කරන මාවතක් නිසායි.


📸 එකේ සටහන එක්ක තියෙන්නේ කරවිල මලක්. ඔව් පණිවිඩයක් ඔයාලාට  ගම්‍ය කරන්න හිතාගෙනයි මම ඒ මල ගත්තේ. කරවිල කියන්නේ සමහරු කැමති තවත් අය අකමැති කෑමක්. රුචී අරුචීභාවය තිරණය වන්නේ තමා මත මිසක අනෙකාගේ ආකල්ප මත නෙවෙයි. ඒ නිසායි සටහනට ගැලපෙනම මල විදිහට කරවිල මල ගත්තේ. 


මොහාන් රාජ් මඩවල මන්දෝදරී කෘතියේ දෙවන කොටසේ පිටු 14 ක් සමරිසි ප්‍රේමයට, සමරිසි සම්බන්ධතාවයකට වෙන් කරනවා. මට ඇත්තටම ඒ පිටු 14 ක් නෙවෙයි, ඒ සමරිසි අයගේ අළු ජිවිත ඇතුළේ තෙරපෙන පීඩිත හැඟිම් දහහතරදාසක් ( 14,000 ) කියලායි දැනෙන්නේ. සමරිසි සම්බන්ධතාවයක දී සමාජයට අසංවේදී කරුණු කාරණා කිහිපයක් මුළු මහත් සමාජයකට, පොතේ කතෘ විසින් යටිපෙල අර්ථයෙන් නිරුවත් කරනවා. සමරිසි ජිවිතය කියන්නේ සමාජය බලන කෝණයෙන් සරල, සුරම්‍ය, සුකුමාල, කෙළිලොල්, රාගය, ලිංගිකත්වය සහිත ජිවිතයක් නෙවෙයි. ඒක මහාම මහා අපායක් කියලා සමහර අවස්ථාවලදී අපිට නොදැනෙනවා ම නෙවෙයි. එහෙම අපිට අපායක් කියලා දැනෙන්නේ, සමාජයේ අසංවේදීම මිනිසුන්ගෙන් එකවරම අපි වෙත එන අහේතුක ප්‍රතිවිරෝධය නිසාමයි. 


🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼


" පිරිමියෙක්ට ඕන ගෑනියෙක් මිසක් තවත් පිරිමියෙක් නෙවෙයි " 

(පිටුව 51)


මේ තමයි ස්ත්‍රි පුරුෂ ශ්‍රි ලාංකීක සමාජවාදී දෘෂ්ටි කෝණයේ සංධිස්ථානය. අධි සංස්කෘතිකවාදී රටක මෙහෙම වචන නොආවොත් තමයි ගැටලුව. පිරිමියෙක් ගෑනියෙක් සමග විවාහ විමත් පිරිමියෙක් පිරිමියෙක් ( ගෑනියෙක් ගෑනියක් සමගත් ) සමග විවාහ විමත් කියන කාරණා දෙක  ඛණ්ඩනය කරන රේඛාව වෙන්නේ දරුවන් යන ප්‍රස්තුතය නෙවෙයි ද. ඇත්තටම විවාහ ජිවිතේ දරුවන් හැරෙන්න වෙන දේවල් ගැබ්බර වෙලාම නැද්ද ? විවාහය තුල තියෙන්නේ ම ශාරීරික ගණුදෙනුවක් විතරමද ?


-------------------------------------------------------------------


" ඒ සමඟ ඔහුගේ ඇඟිලි තුඩුවලට දැනුණ කෝපි මණ්ඩි සමඟ මුහු වුණු අර්ජුනගේ තෙත ඛේට ස්‍රාවය ඔහුගේ හදවත ගිනිබත් කලේය. මොහොතකට තමා දවා අළු වු බව ඔහුට දැනිණ. "

(පිටුව 49)


ඇත්තටම සමරිසි සම්බන්ධතාවයක දී මෙවැනි සංසිද්ධි සිදුවීම බහුලයි. මන්ද ඊළග මොහොත ඔහුන් ට බොහෝ විට අවිනිශ්චිත වන බැවින්. බිය සමග මුසු වු ශෘංගාරය එක්ක දෙතොල් සිප ගැනීම කියන්නේම විස්තර කල නොහැකි හැඟිම් සමුදායක්. එතැනදී ශාරීරික ගණුදෙනුවෙන් විකේන්ද්‍රීය වී මනස හා අධ්‍යාත්මය සමඟ ගැඹුරු බන්ධනයක් සරා සංඛ කල්ප ලක්ෂයක් සඳහා ගොඩ නගා ගන්නවා. මේ මොහොත තවත් දිර්ඝ වෙන්නට ඒ පපු කුහර එකීය ප්‍රාර්ථනාවන් පුරනවා, එසෙත් නැති නම් කාලයට නතර වෙන්න යැයි අණ කරනවා. ඒ හැඟීම ඇත්තෙන්ම සතුට හා දුක යන වේදනාවේ විළිරුදාවෙන් පිරුණු හැගීමක්. අතීතතයේ දී සිමිත වාර ගණනක එලෙස තෙත් වු මගේ දෙතොල්, අදටත් ඒ දිනයන් හී තනිකම මකා දමන්න අවසර දෙන්නැයි සොබාව දහම ට ආයාචනා කරනවා.


*******************************************


" ඔයා, ඔයා කැමති විදිහට ඈන් එක්ක ඔයාගෙ රිලේෂන්ෂිප් එක තියා ගන්නව... මං, මං කැමති විදිහට අර්ජුන එක්ක රිලේෂන්ෂිප් එක තියා ගන්නව... අපි එකට නිදාගන්න ඕන නෑ. ඒත් අපි එක ගෙදර ඉන්නව. එච්චරයි....." 

(පිටුව 53)


ඇත්තටම සමරිසි සම්බන්ධතාවයකත් ශාරීරික ගණුදෙනුවකට මානසික කැමැත්ත අත්‍යවශ්‍යයි. බාහිරව මිනිස්සු කෙසේ කොහොම වුණත් අභ්‍යන්තරිකව මිනිස්සු කැමති තමන් තමන් ම වෙන්නයි. එහෙම නොවුණාම ඒ මිනිස්සු පිඩනයෙන් පුපුරලා යනවා. අන්තිමේට සතුටින් හිනා වුණ දවසක් මතක නැති ගාණට ජිවත් වෙන්න පටන් ගන්නවා. තමන්ට කිසිදු හානියක් නොදෙන තමන් අකමැති පාටක ඇදුමක් දිනක් ඇන්දාම දැනෙන හැඟීම ම අපිට අපි අකමැති මනුස්සයෙක් එක්ක මුළු ජිවිත කාලයක් පුරාවටම එකම ඇඳක තමන්ගේ එහා පැත්තේ නිදා ගන්න වෙද්දී කොහොම දැනෙවීද ?  

✒️ ඔම් ©️


Monday, 5 August 2024

මම ආසම ඔයා, ඔයාම වෙනවටයි.

 


හිතුවක්කාර ප්‍රේමයේ 

හිතුවක්කාර ළමයාට.....

💙💜️💙💜️💙💜️💙💜️💙💜️💙💜️💙💜️💙💜️💙💜️


හරියටම මාස දෙකක පස්සේ මට මං වෙනුවෙන් ගත කරන්න පුළුවන් වේලාවක් ලැබුණා. ඇත්තටම ඒක කොයි තරම් සුන්දර දෙයක්ද කියනවා නම්, මාස දෙකක්ම මං හති දාගෙන දුවපු එක විතරමයි කරලා තියෙන්නේ. මට දැන් දුවලා දුවලා මහන්සී වෙලා නතර වුණ මිනිහෙක් ට දැනෙන හැඟිමක් තමයි තනිකරම දැනෙන්නේ. ඒ අතරේ ඔයා මට වළාකුලු එක්ක ගැට ගහලා එවන, ඔයාගේ ජිවන සුවඳත් කාලයකට පස්සේ මට විදින්න පුළුවන් වුණා. තවමත් ඒ මෝඩ පාට, හුරුපුරුදු සුවඳ ඒ විදිහටම වෙනස් නොවී ඔයා ගාව තියෙනවා ළමයෝ. 


ඔයා දන්නවා ද දෙයක්. මට ඔයාව මේ මාස දෙකට කොච්චර නම් මගහැරුණාද කියලා. මං ඔයාට කතා නොකරපු, මැසේජ් නොකරපු දවස් කොච්චර නම් ඇද්ද?. නමුත් මට ඔයාව මඟ හැරෙන හැම දවසකම, මහා රෑට මං අහසේ ඔයා වෙනුවෙන් මුක්තක කවියක් ලියනවා. ඒ කෙටී කවී ලියන්නේ ඔයාට වැඩ අස්සේ දී ලැබෙන කෙටි විවේකයේ, ඔයාගේ විඩාව නිවන්න මිසක් ඔයාට රිදවන්න නෙවෙයි. මං දන්නවා ඔයා දැන් මට මෝඩයෙක් කියලා බනිවී. නමුත් මට මේ මෝඩ පුරුද්ද පුරුදු කලේ මේඝ දූතයයි. ඉතිං බනිනවා නම් ඔයා බනින්න ඔනේ මට නෙවෙයි, කාලිදාසටයි හිතුවක්කාර ළමයෝ. 


දැන් මේ තියෙන 📸 දැකපු ගමන් මට හොදවයින්ම බනින්න හිතාගෙන නම් ඉන්නේ, ඔයාගේ දරදඬු හිතට මද විරාමයක් දෙන්න. මට කෑ ගහන්න බනින්න නම් එපා.... පොත් අරන් පඩියම ඉවර කරනවා කියලා නම්, අනික අපි දෙන්නාටම මොකටද පොත් දෙකක් කියලාත්. ඔයා දන්නවා මම පොත් වලට කොච්චර ආදරෙයි ද කියලා. 


ඔව්... මම ඔයාට ආදරේ කරනවාටත් වඩා පොත් වලට ආදරෙයි. 


නෑ... නෑ... ඔයාට තරම්ම පොත් වලට ආදරේයි. 


අපෝ... නෑ... නෑ... සමාවෙන්න... 

ඔයාට ආදරේ කරනවාට වඩා පොඩ්ඩක්, අඩුවෙන්... මම පොත් වලට ආදරෙයි. 


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️


ජිවිතේ කියන්නෙම විරිතකට ගනු බැරි කවක්.....

ප්‍රේමය කියන්නෙම උයනක පිපෙන මලක්.....

මල්වලට ආකෘති හැදීම මිනිසුනේ පවක්.....

ප්‍රේමයට කොයින්ද ස්ත්‍රී - පුරුෂ බවක්.....


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️


මං වෙනුවෙන් මේ ලෝකයේ ලියවුණ පළමු කවීය. අනේ සමාවෙන්න අපි, අපි දෙන්නා වෙනුවෙන් ලියවුණ පළමු කවීය. මට අද වරදිනවාත් වැඩි. අනික මේ කලබල අස්සේ මට ඔයාට මේ කතාව කියන්නත් බැරි වුණා. ඉන්න කෝ !!! මං කියන්න මේ අප්‍රප්භාංශ කතාව ඔයාට.....


🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤


හිතවතුනි කාලෙකට කලිං ම⁣ගෙ 

පාදපරිචාරිකාව වී හිටි හිතවතිය අද බැන්දා


සංතෘෂ්ටි පඩිපෙළේ උඩම පඩියක ඉද්දි

මුහුණු පොත ඒ සුබ පණිවිඩය දෝතට ගෙන ඇවිත් තිබුනා


අතීතේ මහා වාලුකා කතරවල් හා, කඳු ශිකර මා එක්ක ඈ නැංගා

බඹරකන්දට වඩා උස, ජීවිතේ ඇලි වලින් දෑත් අල්ලන් ඈ පැන්නා


ප්‍රේමයේ මංසන්ධියක් ලඟ දි මට මඟින් හැරෙන්නට වූ හන්දා

ජීවිතේ සියළු දේ දන්න ඈ -මා නාඳුනන ලෙස කාලයක් උන්නා


කොයිම දිනවත් දැනී නොතිබුන හැඟීමක් හිත රන්දා

දෑස් ඇතුළින් පටන් ගත්තා හිතවතුනි ඇමර්සන් මහ ගංගා


සුබ පැතුම් කෝටියක් මැද වුනත්; කුඩාවට තිතක්ව වුනත්

ඇයට සුබ පතන්නට නොහැකි වෙන එක 

ප්‍රේමයක දරුණුතම රිදුම හන්දා


සංතෘෂ්ටි පඩිපෙළෙන් එකවරම 

ගව් ගණන් පහළකට මං වැට්ටා


හිතවතුනි කාලෙකට කලිං ම⁣ගෙ 

පාදපරිචාරිකාව වී හිටි හිතවතිය අද බැන්දා.!!


|තරිඳු අවිශ්ක ලියනගේ


------------------------------------------------------------------


මෙන්න මේ සටහන දවසක් සඳුනී Whatapp Status දාලා තිබුණා. කාලයකට පස්සේ මට ඒ වචන වලට මගේ හිත ගොඩක් රිදුණා. අනේ මන්දා අහේතුකයි. ඔයා මට මෙච්චර ආදරේ කරද්දී ඇයි එහෙම වෙන්නේ කියලා මට හිතුණා. ඔයා මට හමුවුණ දවසේ ඉදලා අද වෙනකං මට අපේ ආදරේ ඇතුලේ පුංචියටවත් රික්තකයක් ඇතිවෙලා තිබුණේ නෑ. ඔයා මාව හැමවෙලාවකම ආදරෙන් පුරවලයි තිබ්බේ. නමුත් මට නොදැනීම මගේ ඇස් ඒ වචන අස්සේ නතර වුණා. 


මම ඉතිං ඒ කවියේ අයිතිකාරයාව හොයන්න පටන් ගත්තා. අන්තිමේට සමාජ මාධ්‍යට පින් සිද්ධ වෙන්න හොයා ගන්න පුලුවන් වුණා. 

ඔයාට මතකද? 

දවසක් ඔයා මට මැයි මාර ප්‍රසංගයේ වචන කිහිපයක් කියද්දී ම, මම ඒක ඔයාට කලින් සම්පූර්ණ කලා. ඒ.... මේ කවීකාරයාගේ වෝල් එකෙන් දැකලා ඒ වචන මතක තියාගෙන හිටිය නිසායි. 


මේ විදිහට මම හති දාගෙන දුවන කාලයේ, හිත නිවෙන්න හරි නිවාගන්න හරි උදව් වුණේ ඒ කවී විතරයි. ඒ වගේ ම ඔයා කතා කරද්දී පිටිපස්සෙන් ඇහෙන කංඅඩි පැලෙන සද්දේ, මට මඟහැරණු දවස්වල, මම මේ කවි වලින් ඒ අඩුව පුරව ගන්නවා. මගේ මේ අසීරුම කාලයේ මගේ අත්වැරදීම් නිසාම මට ඔයාව ගොඩාක් මඟ හැරෙද්දී මේ කවී මගේ පාළුව මැකුවා, රිදුණු හිත හැදුවා. මට ඔයා මං ළඟ නෑ කියලා පොඩ්ඩක් වත් දැනෙන්න දුන්නේ නෑ. නමුත් ඔයාටත් කවී ලියන්න පුලුවන් නම් කොයිතරම් දෙයක්ද කියලා මට හිතුණ වාර අනන්තයි. එහෙනම් මම ඔයා ලියන කවී ඔයාටම ආයේ අයේ කියවන්න කියලා වද දිලාම ඔයාව මරයි නේද....


🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼


7. ප්‍රේමය

අත්හැරීමක නැති වුණත් 

අපි පැතු ප්‍රීතිය 

කිලුටක් නැතිව අන් සතුට දැක 

සුබ පැතීමකි ප්‍රේමය....


මේ කවිය මුහුණු පොතේ දැක්කාම මට "විතකින් ඉහිරුණු බීර බිඳක්" කවි පොත ගන්න ඔනේමයි කියලා හිතුණා. හිතුවක්කාර මමත් වරුවක් පුරාම මුළු මරදාන පොත් කඩ අස්සේ ඒ පොත හෙව්වා. මගේ අවාසනාවන්ත කමට මට අඩුම තරමේ එක පොතක්වත් හොයා ගන්න බැරි වුණා. නොලැබීම මට මහ අමුතු දෙයක් නොවුණ නිසා, මම ඒ ගෙවුණු රැයවල් වල නොහඬා, දිගු සුසුම් පමණක් උණුසුම්ව පිට කරන ගමන්  හුල්ලමින් නිදාගත්තා. ඔයා දන්නවා ද ? මෝඩ ළමයෝ....


දවසක්  මුහුණ පොත ඒ සුබ පණිවිඩය මගේ දෝතට ගෙන ඇවිත් තිබුනා.... මං මහාම මහ හයියෙන් හිනා වුණා. ඇත්තටම ඒදා නම් සතුටට ඇස්වලින් කදුළුත් පැන්නා.


ඉක්මනින් මම ඒ අංකයට ඇමතුමක් දුන්නා. මම අපි දෙන්නටම පොත් දෙකක් ඔඩර් කලා. ඒදා ඇත්තටම මං ගාව සල්ලී තිබ්බේ නෑ. මම හවස නැන්දාලාගේ ගෙදර ගිහිං ඒයාගෙන් සල්ලී වගයක් ඉල්ල ගත්තා. කවී පොතක් ගන්න ඔනේ කියලා කිව්වා නම්, ඒයාත් ඔයා වගේම දිග ලෙක්චස් එකක් දෙන නිසා කැම්පස් එකේ වැඩක් කියලා බොරුවක් ගොතලා, මම සල්ලී ඉල්ලගෙන ඩිපෝසිට් කලා. 


මම කෝල් කරලා ඒ ගැන කිව්වා. අපි අතර කෙටි සංවාදයක් ඇති වුණා, එක දිගු සංවාදයකට පෙරළුණා. ඔයාත් ඒ අතරට ආවා. ඔයා මම වුණා, මම ඔයා වුණා. අපි අපේ වුණා. ඒ කවීකාරයා මට පොරොන්දුක් වුණා. අන්තිමේට අපිට කවියක් අයිති වුණා. 


*******************************************


මං ඔයාට ආදරේ ඇයි කියලා නම් දන්නේ නෑ මෝඩ ළමයෝ. නමුත් ඔයා මට ලං නොවෙන්න, මේ තරම් ආදරේ නොකරන්න අද මට මේ තැන අයිති නෑ. ඒ නම් මං තවම හිස් මනුස්සයෙක් 🖤❤️


ඉඩෝරයේ මා අතහැර නොගිය ඔබට වස්සානය උරුම විය යුතුයි කියනවා වගේ, මගේ හැම ජයග්‍රාහණයකම හිටියේ හිතුවක්කාර ඔයා, ඔයා විතරමයි. අද ඔයා නිසා මම (අපි) කවියකට අයිතිවාසිකම් කියනවා. 


අහඹු සිදු වීම් කොයි තරම් ලෝකය වෙනස් කරනවාද නැද්ද මං දන්නේ නෑ නමුත් මාව උඩුයටිකුරු කරනවා. මේ පොත අතට ආව දවසේ මේ පොතේ පිටුවක් අත්වැරදිමකින් මගේ අතින් පෙරලුණා. ඒ පිටුවේ මේ කවිය තිබුණා..... 


34 . වැනී කවිය

( පිටුව 59 )


කවිය නොලියා කවී අංකයයි කවිය අයිති පිටුවයි ලියන්නේ, ඔයා ලංකාවට ආව දවසක මතක තියාගෙන මේ 59 වෙනී පිටුවේ, 34 කවිය කියවන්න ඔනේ නිසායි. ඒ කවියත් අයිති අපිටයි, ඔව්... අපි දෙන්නාමට සහ අපි දෙන්නා වගේ ඉන්න අයටයි. මම තව දවස් 73 කින් ඔයාට මේ කවී පොතත් එක්කම, මම ඔයා වෙනුවෙන් ගත්ත හැම කවී පොතක්ම ඔයාට තැගී කරනවා. 


එත් ඔයා ඒ කවී කියවන්න ඔනෙත් නෑ. එහෙමයි කියලා කවී ලියන්න ඔනෙත් නෑ. මං නිසා ඔයා කවිකාරයෙක් / කවිකාරියක් වෙන්න ඔනෙත් නෑ. ඔයා ඔයාම වෙන්න... මට ඒ ඇති...


හිතුවක්කාර, මුරණ්ඩු, දඩබ්බර, මගේ දුර්වලම තැනට හරියටම පහරදිලා මාව රිදවන ඒ අහිංසක මනුස්සයා වෙන්න. මම ආසම ඔයා ඔයාම වෙනවටයි. දැන් අහන්න එපා ඒනම් ඇයි ඔයාටත් එක්ක මං කවී පොත් ගන්නේ කියලා......


(12. බලන්න, ඔයා අනිත් අයව සනසවමින් ඉන්නේ ඔයා, ඔයා වෙනුවෙන් අහන්න ආස වචන වලින්. - පෙපර් මින්ට්)


✒️ ඔම් ©️

Friday, 5 July 2024

EX එක්ක සීතල රැයක්, උණුසුම් හාදුවක් හා වැළදගැනීම් සමඟින්


" රැවටීමෙහි උපරිමයටත්, පාවිච්චි වීමේ අධිකතමයටත් පත් වු පසු, අහම්බෙන් මෙන් දවසක මේ වෙන්වීම නියත බව හැගිණි. තවත් වචන නොමැති දිනයක නිහඬව නික්ම ආවෙමී. විශ්වසනීය සිහින වලින් පලවාහරිනු ලැබූ අවලංගු ගැහැනියක ලෙස හැඟීම ගිලිහිනු කලක මෙන් ඇවිද යද්දී වෙරළ හමු විය. බොහෝ වෙලාවක් එකක් යයි කිව නොහැකි සිතුවිලි අතර පැටලී සිටියදී ක්ෂණික ඉරක් සේ මනසෙහි යමක් ඇඳිනි. ආදරය නම් ඉර මුහුදේ ගිලෙන්නට මොහොතක් තිබියදී ලෝකයෙහි ළා අඳුර, ළා දිප්තියත් අතර පවතින මොහොතක ක්ෂණික ආලෝකය වැනිය "
පිටුව 08

ලිලැක් කෘතිය

සඳුනී 🌸 - " හ්ම් හ්ම් අපි චුට්ටක් කතා කරමුද ? මට ඔයාත් එක්ක අන්තිම පාරට කතා කරන්න ඔනේ හ්ම්. අනේ මට එකම එක අවස්ථාවක් දෙන්න විසල්. මේ පාරත් මට ඔයාව මගහැරුණොත් ආයේ අවුරුදු පහක් බලාං ඉන්න වෙනවා හ්ම් "
( Forward Msg ) 2024-05-31 16.05

මැසේජ් එක දැකපු මම. එහි නියම අයිතිකාර හදුනා ගත්තා. මැසේජ් එක කොහෙන්, කොහොම සඳුනීට ලැබුණාද කියලා දැන ගන්න. මම සඳුනිට කෝල් එකක් ගත්තා

🥺 මචං සඳු ...
උඹට කොහෙන්ද මේ මැසේජ් එක ?
කවුද උඹට ඒක එව්වේ ?
කොහොමද උඹ එයාව දන්නේ ?
ඇයි ??? ඒක උඹ මට එව්වේ ?
මේ වගේ ප්‍රශ්න පත්‍රයක් සඳුනිගෙන් මම එක දිගටම අහන්න ගත්තා.

😁 මචං විසල්, මම දැන් බීම් එකට යනවා News කියන්න. මම ඒක ඉවර කරලා ඇවිත් උඹට සීන් එක කියන්නම්.

🥺 අඩෝ මචං කියලා පලයං කෝ බම්.

😁 හරි හරි මම News එක කියලා ඇවිත් කියන්නම් බම්

2024-05-31 20.18

Sanduni is Calling.....
Sanduni is Calling.....
Sanduni is Calling.....

😁 මචං විසල්, උඹ මොකද කරන්නේ ?

🥺 මම මේ නිදාං නැගිට්ටා විතරයි.

😁 මේ හවස උඹ නිදා ගන්නවා ද බම්
🥺 සමහර ප්‍රශ්න වලට උත්තර නිදාගෙන නැගිටින එකයි මචං

😁 මේ අර මම උඹට Forward කරපු මැසේජ් එක එව්වේ උඹේ Ex, විස්තරේ විස්තරාත්මකව කියන්නම් මම පස්සේ වෙලාවක. උඹ මේ සෙනසුරාදා එයාව බලන්න, විහාරමහා දේවී පාර්ක් එකට පලයං !!! හොඳ ද.

🥺 මේ අහපං සඳුනී... උඹ හැමදේම දැනගෙනත් ඔහොම නොදන්න ගාණට හැසිරෙන්න එපා මචං.

😁 මචං විසල්, මම උඹෙන් කිසි දෙයක් හංගලාත් නෑ, ඉල්ලලා නෑ අද වෙනකං. මම කියනවාට පලයං කෝ පොඩ්ඩක්. මම දන්නවා උඹ ඉන්නේ, හැමදේම අමතක කරලා කියලා. නමුත් පැමිණිල්ලට වගේම විත්තියටත් අවස්ථාවක් දීපං බං නිදහසට කරුණු දක්වන්න. දැන් උඹ අවුරුදු කීයක් කියලා ඒයට එහෙම දඩුවම් කරන්නද බං. මේ පාර මං කියනවාට පලයං කෝ.

හා........ මේ මචං විසල්

එන්න කිව්වේ වෙනදා වෙලාවටම, උඹලා වෙනදා හම්බ වුණ තැනට කියලා කියන්න කිව්වා මචං. උඹ ඒ තැන දන්නවා කිව්වා

🥺 මචං සඳුනී මේ මම උඹට දෙන පලවෙනී හා අන්තිම අවස්ථාව බං. ආයේ උඹට මගෙන් කිසිම උදව්වක් නෑ බම්.

Sanduni is Send - 😡😡😡😡😡

❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤

වෙනදා වෙලාවටම වෙනදා තැන කියන්නේ ඉතිං.....
දවස - සෙනසුරාදා
වෙලාව - 10.00
ස්ථානය - විහාරමහා දේවී පාර්ක් එකේ වික්ටෝරියා පිළිරුව ඉස්සරහා තියෙන ලී බංකුව නේ.
කියලා මම මටම කියා ගත්තා.

සිකුරාදා රෑ මට එලිවෙන්නේම
හෙට යනවාද නැද්ද...
යනවාද නැද්ද...
කියලා හිත දෙගිඩියවක අතරමං කරන ගමන්. කොහොම හරි මෙහෙම හිත හිත ඉද්දීම....

සෙනසුරාදා දවසත් උදා වුණා. උදෙන්ම ඔෆිස් එකට කෝල් එකක් අරන්

" මට අද සනීප නෑ වගේ. අද මට නිවාඩුවක් ඔනේ. මම හෙට Day off එකත් අරන් සදුදා ආයේ වැඩට එන්නේ " කියලා මගේ නිවාඩුවත් අනුමත කරගත්තා.

සුපුරුදු පරිදි ලැස්ති වෙලා බයික් එකේ නැගලා විහාරමහා දේවී පාර්ක් එකට ආවා. ඇවිත් සුපුරුදු ඒ ලී බංකුවේ ම ඉදගත්තා. උදේම ආවට මොකද මම ආවේ උදේටත් නොකා. හරි...කමක් නෑ තවම 9.45 නේ ළඟ කඩේකට ගිහිං මොනවා හරි කාලා, තේ එකකුත් බිලා එනවා කියලා බංකුවෙන් නැගිටින්න හදද්දීම එයා එනවා. බැග් එකකුත් කරේ එල්ලගෙන.

(තවම අයියා ජපානෙන් එවපු ඒ බෑග් එකමද කොහෙද පාවිච්චී කරන්නේ යැයි මම මටම කියා ගත්තා)

💔 ඔයා කලින්ම ආවාද විසල්

🥺 නෑ මම මේ ආවා විතරයි

💔 බොරු නේද

🥺 විකාර කියවන්නේ නැතිව මට ඇයි එන්න කිව්වේ කියලා කියන්න. මට වැඩ තියෙනවා. මම මේ ආවේ half Day එකක් දාගෙනයි.

💔 හරි ඉන්න කෝ ළමයෝ. හා මේක කන්න ඔයා නොකා නේ එන්න ඇත්තේ ? ආ... මේ ටෝස්ටර් කරපු පොල් සම්බල් පාන් එක කන්න. ඔයා ආසයි නේ ටෝස්ටර් කරපු පොල් සම්බල් පාන් කන්න. ආ...... මං වතුර බෝතලයකුත් ගෙනවා.

🥺 නෑ මං කාලා ආවේ. අම්මා අද උදේ ම කිරිබත් හදලා තිබ්බා. හනික මට බඩගිනිත් නෑ. මං හොදට බඩ පිරෙන්න කාලා ආව නිසා.

💔 මම හිතුවේ ඔයා පරණ විදිහටම නොකා එන්න ඇති කියලා. ඒකයි මම ඔයාටත් එක්කම කෑම ගෙනාවේ. ඔයා හරි ඉක්මනින් වෙනස් වෙලා නේ විසල්.

🥺 ඔව්... දැන් අවුරුදු ගාණක් වුණා නේ. මේ අවුරුදු ගාණට බලන්න මෙතැන කොච්චර දේවල් වෙනස් වෙලාද කියලා. ඉතිං අජිවී දේවල් ඒ තරම් වෙනස් වෙද්දී ජිවී මම වෙනස් නොවෙන්න පුලුවන් ද

💔 හ්ම් හ්ම්

🥺 හරි විකාර කියවන්නේ නැතිව ඔයාට මාව හම්බවෙන්න ඔන වුණ කාරණාව කියන්න.

💔 නොකෑවාට කමක් නෑ. මම ඔයාට එනකොට දෙයක් ගෙනවා. ඒකවත් ගන්න.

🥺 මේ මගුල් නටන්න එපා. ආපු කාරණය කියන්න. මට දැන් ඔයාවයි ඔයාගේ වැඩයි  අප්පිරියායි.

💔 හා මේ ලිලැක් කවි පොත ඔයාට මං ගත්තේ

කියමින් ඒ කවි පොත මාගේ අත උඩින් තිබ්බා. මේ අවුරුදු කිහිපයට හෞතික අහෞතික දේවල් ගොඩාක් වෙනස් වෙලා, නමුත් තවමත් කවි වලින් මගේ හිත රිදව ගන්න එක, ඒ කවි වලින් ම මම සියදිවි හානි කරගන්න ගන්නා උත්සහාය වෙනස් වෙලා නෑ. ඒක ආයේ ආයෙම ස්මරණය වුණා, මේ කවි පොත අතට ලැබුණාත් එක්කම.

මිනිස්සුන්ට දරාගන්නම බැරි වුණාම මිනිස්සු නිහඩ වෙනවා දෙයාකාරයකට. ඒ මරණයෙන් හා නොමැරි සිටිමෙන්. ඔව් සමහර වෙලාවට සමහර ප්‍රශ්න වලට උත්තර නිහඩතවය හා කාලයයි. කාලය තමයි ගොඩාක් ප්‍රශ්න වලට උත්තරය කියලා දැනෙද්දී මම වයසින් වගේම අත්දැකීම් වලින් ද මුහුකුරා ගිහිං. මම මේ ළගකදී කණ්ණාඩිය ගාව කොණ්ඩේ පිරන කොට දැක්කා සුදු කෙස් ගසක් ඔලුවේ තියෙනවා. ඒ කියන්නේ වයස 28 කියන එකත් දැන් ලොකු වයසක් නේ කියලා දැනෙන්නේ ගත්තා. දැන් මම වයස 28 ක නාකී මනුස්සයෙක්.

මගේ අත උඩ තිබ්බ ලිලැක් කවි පොත මම අතට අරගෙන පිටු පෙරලන්න ගත්තා. ඒ පිටු හරිම ගෝරෝසුයි. හරියටම මේ දැන් ඉන්න මම වගේ.

❤🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸

"හැබෑවේ මහප්‍රාණ ගතියට වඩා ෆැන්ටසියේ අල්පප්‍රාණ ගතිය ඇතුළේ ජිවත්වෙන්න නැවුම් පෙළඹවීමක් තියෙනවා."
පිටුව 07


මුලින්ම හිත ගියේ ඒ වචන පේළියටයි.
මට සමාවෙන්න ඔයාට බැන්නාට කියලා මම මගේ හිත ඇතුළෙන් මටම මුමුණ ගත්තාත්, මුහුණේ තවරා ගත්ත කේන්තියේ අඩුවක් පිටතට නොපෙන්නුවෙමී.

💔 ඔයා දන්නාද මම ඔයාව දාලා ගියාට පස්සේ මොනවාද වුණේ කියලා. මම කියන්නම් ඔයා අහන්න කැමතිද කියන්න කෝ... අනේ කියන්න කෝ විසල් ?

🥺 හ්ම් හ්ම්

වචන මිනිස්සුන්ව කොතරම් දුරට රිදවනවාද කියලා මට වඩා දන්නා අය කොතරම් සිටිනවද යන්න. මහා දැවැන්ත ප්‍රතාපවත් ව හිඳ ඉන්න වික්ටෝරියා අධිරාජිණියගේ පිළිරුව දෙස බලමින් මම මගේ හිත තුළම මුමුණන්නට ගත්තේ ලිලැක් කවි පොතේ පිටු එකින් එක පෙරළමින්.

"හැමෝම එහෙමයි, තියෙන දේට වඩා නැති දේට ආදරේ කරනවා. කාටවත් පෙන්නේ නෑ."
පිටුව 15


💔 ඔව් විසල් අපි හැමෝම එහෙමයි. උපුල් ශාන්ත සන්නස්ගලත් අම්මා කියන කෘතියේ එක ලස්සනට විග්‍රහා කරනවා.

🥺 මම සද්දෙන්ද පොත කියවන්නේ ?

💔 ඔව්... මගේ මෝඩ ළමයෝ ඔව්...

🥺 මට මෝඩ ළමයා කියල කියන්න එපා, ඒවා දැන් මට නුහුරුයි. ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට ඔයා කරන කියන දේවල් වලින් ඔයාව තව තවත් අප්පිරියා වෙන එක විතරයි වෙන්නේ. මට සමාවෙන්න එහෙම කියනවාට. නමුත් දැන් මට ඒ වචන හරි අප්පිරියායි.

💔 හරි මම නතර කරපු තැනින් කතාව කියාං යන්නම් කෝ. මම ඔයාට එන්න කියලා මගේ පාස්පෝට් විසා ඔක්කෝම පෙන්නුවාට පස්සේ........

වක්කඩේ වගේ ඒයා කතාව ඔහේ කියාගෙන යද්දී, මම ආයෙමත් ලිලැක් පොත එක්ක රමණයේ යෙදෙන්න පටන් ගත්තා. ලිලැක් පොත එක්ක පෙම් කෙළින්න ඔනේ කියලා හිතුවත්, දැන් මට  ඉර හඳ අතට ගෙනත් දුන්නාත් කිසිවෙකු ගැනවත් ප්‍රේමයක් නම් ආයේමත් මගේ හිතේ හට නොගන්නා බව මං දන්නවා.

" හදවත තුවාල වුණාම ගලන ලේ රතුපාට නෑ, අවර්ණයි. ඒ ලේවලට කියන්නේ කදුළු කියලා. හදවත තුවාල වුණාම නැගෙන වේදනාවේ විලාපයට හඬක් නෑ, ඒවාට කියන්නේ සුසුම් කියලා "
පිටුව 36


මට මේ වචන ටික දකිද්දිම මතක් වුණේ අමරසිරි පිරිස් මහතාගේ සිංදුවක අතරමැදිව තිබු පද පේලියක්....
" සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා " අනෙක් වචන ටික නම් මතකෙට ආවේම නෑ. ඒවා මතක් කරන්න උත්සහා කලාත් ඒ උත්සහයත් අසාර්ථක වුණා මිසක් මේ අවස්ථාවේ දී මටත් සාර්ථක වෙන්න වුවමනාවක් නොතිබුණා.

" ජිවිතය කොටු කළ
රවුම් රන් බැම්මේ
ප්‍රේමය කියා ඔබ
මොනවාද දුන්නේ "
පිටුව 37


මම මේක හයියෙන් කියවන්න කියලා හිතාගෙන ඒ දිහාවට හැරෙන කොටම ඒයා අඬමින්ම මට මොනවාද කියාගෙන කියාගෙන යනවා. හරියට මාගලක ලියපු කතාවක් වගේ කියලා විතරක් මට දැනෙනවා. මම මේ ඒයා අඬනවා දැකපු දෙවැනි වතාවයි. දවසක් අඬනවා කියලා 📸 එකක් මට එව්වා හැරුනු කොට එයා අඬනවා මම කවදාවත් ම දැකලා තිබුණේ නෑ. මම ඒයාගේ ඒ හැඩි දැඩි මුහුණේ ඉහළ සිට පහළට රූටා වැටෙන උණු කදුළු මගේ රළු ඇගිලි වලින් පිස දැම්මා.

💔 ඔයාට දුකයි නේද මං අඩද්දී

🥺 අපෝ නෑ මෙතැන අඬන්න එපා. පාරේ යන මිනිස්සු අපි දිහා වැරදියට බලයි. ඒකයි මම එහෙම කළේ නැතිව වෙන මොකක් වත් නිසා නෙවෙයි.

42. " උඹ පළවෙනියා නෙමෙයි, අන්තිමයත් නොවෙන්න පුළුවන්..... ඒත්..... ප්‍රේමයයි කියලා මං ඇඟිල්ල දික් කරලා පෙන්නන තැනක් තියෙනවනම් ඒ උඹම විතරයි... උඹේ ආදරේ පරිමාව අනන්තයට වඩා ටිකක් ගැඹුරයි.

උඹ සිරව ඇත්තේ
හදවනේ හරී මැද
ලේ නහර දෙකක් හරස් වන
පටු දෙබොක්කාවක

අපි අසම්මතයි, ඔව් ඇත්ත..
ඒත් මියෙනා දවසකත්
මා ප්‍රේමයයැයි පෙන්වන්නේ
උඹ ඉන්නා පැත්ත


කාලයකට කලින් විතරක් නෙවෙයි මේ කවිය කියවන්නට මොහොතකට කලිනුත් මම මේ අදහසේමයි හිටියේ. නමුත් දැන් මම අතරමං වුණා මේ කවිය අස්සේ දැන් මම මොකද කරන්නේ කොහොමද මං දැන් ආපු පාර හොයා ගන්නේ.

අනේ මාව බේරා ගන්න....
අනේ මාව බේරා ගන්න....
අනේ මාව බේරා ගන්න...
කියලා දුර්වල පිරිමි ආත්මයක් විදිහට කෑ ගහන්නද කියන්නේ. මට ඇත්තටම බයයි. මම අවුරුදු කිහිපයක් කළුවරක ජිවත් වෙච්ච මනුස්සයෙක්. මේ ගිනි ගහන මධ්‍යානයක ආයේ කළුවරක අතරමං වෙන්න බෑ.

💔 මොකද ළමයෝ ඔයාට එක පාරටම ඔච්චර දාඩියක් දාන්නේ.
ඔයාට අසනීපයක්වත්ද ?
අපි ඉස්පිරිතාලෙට ගිහිං බෙහෙත් ටිකක් ගමුද???? කෝ නැගිටින්න...
ඔයාගේ ඔළුවත් හොඳටම රස්නෙයි නේ...

🥺 ඇයි!!! රට සල්ලීවල හයිය හත්තිය, ඔයාට ඔනේ මට පෙන්නන්නද ???

💔 නෑ... මම එහෙම අදහසක් අදහස් කලේ නෑ. (එහෙනම් අඩුම තරමේ මේ වතුර එකවත් බොන්න කියලා වතුර බෝතලයක් දුන්නා.)

🥺 ඔයා බිව්වාද

💔 මම දන්නවා ඔයා කවුරුත් බීපුවා බොන්න කැමති නැ කියලා මේක අලුත් වතුර බෝතලයක් විසල්

43.
කන්දකට පුළුවන් නම්
දියවෙන්න
මුහුදකට බැරි ඇයි
ගිනිගන්න


මම මොකටද ආයේ ආයේමත් මට අයිති නැති අතීතයකට ගිහිං,
ජිවත් වෙන්න හදන්නේ ?
දුක් විදින්නේ ?
අතරමං වෙන්නේ ?

ඇයි මම ආයෙත් මට අයිති නෑ කියලා සනාථ වෙලා තියෙන අතිතයක් එක්ක,
ඒ අතීතයට අයිතිවාසිකම් කියන මනුස්සයෙක් එක්ක, මේ තරම් ගැටෙන්නේ. මට ඔනේ දැන් කන්දක් වගේ දියවෙන්න, මුහුදක් වගේ ගිනි නොගත්තාත්. මුහුදක් වගේ ගිනි අරන් කොහොමද මං ඒයා පුච්චලා අළු කරලා දාන්නේ. මම ඒයාට තවමත් ගොඩාක් ආදරේ නේ දෙයියනේ.... මට ඔනේ මේ ඔක්කෝම දමලා දලා මෙතැනින් දුවලා, ගෙදර ගිහිං කාමරේ දොර වහාං කෑ ගහගෙන හයියෙන් අඩන්න. එත් පිරිමි ආත්මයකට මෙහෙම ප්‍රශ්න වලින් පැනලා යන්න බැහැ කියලා සමාජ සම්මතයන් තියෙනවා. දැන් විරාහව ආයෙමත් මගේ හදවතේ කිරුළු පළදින්න යන්නේ. කිරුළු පැළදුම් උත්සවය අවසන් වෙන්නේ මගේ ඇස් වලට උණු කදුළු එක් කරලා කියලා දන්න නිසාම, මම බංකුවෙන් නැගිටින්න උත්සහා කරද්දී එකවරම ලිලැක් කවි පොත මගේ අතින් බිමට වැටුණා.

💔 ඇයි විසල්......

🥺 නෑ මුකුත් නෑ

💔 මම දන්නවා විසල්. ඔයාට මාව ආයේමත් දකින්න වුණ එක වේදනාවක් කියලා. එත් මට ඔයාව දකින්න ම ඔනේ වුණා. මම මහාම මහා ආත්මාර්ථකාමී මනුස්සයෙක් නේ.

🥺 එහෙම නෑ මම ඒ අතීතය අමතක කරලා ගොඩාක් කල්

💔 මට අච්චර ආදරේ කරපු ඔයා කොහොම එකපාරම මාව මතක කරන්න තරම් ශක්තිමත් වුණේ.

🥺 ඔයා දන්නේ නෑ. ඔයා මාව දාලා ගියාට පස්සේ මම ඔයාව සම්බන්ධ කරගන්න කොච්චර නම් උත්සහා කලාද කියලා. සමහර උත්සාහයන් ඔයා ප්‍රතික්ෂේප කලා. ඒතකොට මම ගොඩාක් ඇඩුවා. සමහර දවස්වල රෑයක් දවාලක් නැතිව ඇඩුවා. සමහර වෙලාවල් වලදී ඔෆිස් එකේ කාමරයට වෙලා තනියෙන් ඇඩුවා. ඔෆිස් වොෂ් රෑම් එකේ පවා ඇඩුවා. කොච්චර ඇඩුවාද කියනවා නම් ඉර පායන බහින නිනව්වක්වත් මම මාස කිපයක් යනකං දැනගෙන හිටියේ නෑ. කාපු කෑම බීම වල රසක් මාස ගාණක් යනකං දැනගෙන හිටියේ නෑ. ජිවත් වුණාට ජිවත් වුණා.

අම්මා නිසාම ජිවත් වුණා මිසක් නැත්තම් මම මේ වෙලාවට මැරිලා, මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා. ඒදා රෑ අම්මා  නින්දෙන් මගේ නම කියාගෙන අඩනවා මට ඇහුණේ නැත්තම්, අද මං මෙතැන නැතිවෙන්නත් තිබ්බා. අම්මාට පිං සිද්ධ වෙන්න මම ජිවත් වෙනවා කියලා කියන්න හිතුණාත් ලිලැක් පොතේ තැවරුණු වැලි පිසදාද්දී දැකපු කොටසක් ඒහා දිහාවට හැරිලා මෙහෙම කිව්වා

"අම්මාගේ සුවඳට විතරක් දෙවෙනි වෙන ඊළඟ අපුරුම සුවඳ තියෙන්නේ කොළඹ මහජන පුස්තකාලේ දැව රාක්ක අතරේ,
එතනම ජිවත් වෙලා එතනම මැරිලා යන්න තරම් ආස හිතෙන... පොත් සුවඳ..."
පිටුව 48

💔 විසල් මම ඔයාට තවමත් ආදරෙයි ළමයෝ... ඇත්තටම මාව කියවන්න පුලුවන් වුණ එකම කෙනා ඔයා විසල්... මාව තේරුම ගන්න පුලුවන් එකම කෙනා ඔයායි විසල්... එත් මට ඔයා ගාව රැදෙන්න බෑ විසල්, තේරුම් ගන්න. නමුත් මං ඔයාට ගොඩාක් ආදරේ ළමයෝ එදා වගේම අදත් .....

🥺 අහේතුකව මිනිස්සුන්ට තිරණ ගන්න අයිතියක් තියෙනවා. ඒකට හේතු අවශ්‍ය නෑ...

💔 විසල් ඇයි ඔයා මාව වචන වලින් රිදවන්නේ

🥺 මට ඔයා එක්ක අන්තිම පාරට මෙතැන කෝපී එකක් බොන්න ආසයි. ඔයාට පුලුවන් ද කෝපී එකක් අරන් එන්න. හැබැයි එක කොන්දේසියක් මත, ඒවාට  මම සල්ලී ගෙවන්නම්

💔 හරි මම ඉක්මනින් අරන් එන්නම්. ඔයාට ඉතිං මගේ රට සල්ලී වල හයිය හත්තිය බලන්න ඔනේ නැහැ නේ. කෝ සල්ලී දෙන්න.

🥺 හ්ම් හ්ම් හා සල්ලී....

අතීතයේ දී තනිවුණ, අනාගතයෙත් තනිවෙන මම, වර්තමානයේ ආයෙමත් ම තනිවුණා. මේ සාවිශාල ගෙන්දගම් පොළවේ, ලෝකයක් පාලනය කරපු ප්‍රතාපවත් වික්ටෝරියා රැජිණ ඉස්සරහා...

ඔබට රිදවන්නේ " ආදරය " නොවේ, ආදරය කරන්නේ කෙසේදැයි නොදන්නා
"මිනිසුන්ය" !
පිටුව 52


මේ පද පේළීය යටින් ඒයා නිල් පෑනකින් 
"මට සමාවෙන්න විසල්" කියලා ලියලා තිබුණා. ඒයට පිළිතුරු ලෙස මගේ සුපුරුදු උත්තර " හ්ම් හ්ම් " ලෙස රතු පෑනකින් සටහන් කලා....

එකවරම සිහින් මන්දාරම් වැහි පොදකින් මුළු වික්ටෝරියා උද්‍යානයම යටත් කරගන්නට විය. ඉක්මනින්ම මම ඒයාගේ බෑගයත් මගේ බෑගයත් ලීලැක් කවි පොතත් රැගෙන මදක් පසුපසින් තියෙන ආවරණයක් සහිත රවුම් කුඩාරමට ගොඩ වුණා.

ඒයා ඒයාගේ කැරළීකාර කොණ්ඩයේ හිතුවක්කාර වැහි බිංදුත් දරාගෙන කෝපී කෝප්ප දෙකක් අත් දෙකට අරන් කුඩාරමට ගොඩ වුණා.

💔 එකාපාරම වැස්සා නේද. ඔයා තෙමුණාද ? මේක අල්ල ගන්න කෝ පොඩ්ඩක්....

🥺 කෝ දෙන්න.

💔 හොඳටම තෙමුණා බලනවා කෝ. කොහෙද ඉතිං ඔයාට තවම අපි හම්බ වුණාම ඔය කෝපි බොන පිස්සු පුරුද්ද අත්හරින්න බැරි වුණා නේ. ඔයාත් හොඳටම තෙමිලා නේ විසල්. මේ එන්න ඔයාගේ ඔළුවත් පිහදාන්න.

🥺 මට වදයක් නොවී ඉන්න

💔 හරි එහෙනම් මේ කෝපි එක බොන්න විසල්

🥺 මේ මොකද එකක් නිවිලා එකක් උණුවෙන්

💔 ඔයා තවම කෝපී බොන්නේ නිවලා නේද

🥺 ඔව්... ඒ වුණාට ඔයා මං ගැන ඔනාවට වඩා හිතන්න ඔනේ නෑ...

ලී බංකුවේ වාඩි වී කෝපී බොන ගමන් ලිලැක් කවී පොතේ අවසන් කවි කිහිපය කියවුවෙමී.

"ඉතිං කෝපි රස්නෙන් බොනවාද? නිවලා බොනවාද? නොබී ඉන්නවාද?"
පිටුව 53


දෛවය වුණත් සෙල්ලම් කරන්නේ ඉක්මනින් රිදෙන මිනිස්සු එක්කයි. රිදෙනවා කියන්නේ අපි ජිවත් වෙනවා කියන එකටයි කියලා, මට දැන ගන්න මහා කාලයක් ගියේ නෑ. කෝපි බිලා ඉවර වුණ මම කෝපි කෝප්පය ලී පුටුව උඩම තිබ්බා.

💔 අපි විතරක් නෙවෙයි. අපේ අවටත් ලස්සනට තියෙන්න ඔනේ විසල්. තව කෙනෙක්ට අඩුම තරමේ ඒතැනට ඇවිත් ගිමන් හැරලා යන්නවත්. කියලා ඒයා මගෙත් ඒයාගෙත් කෝපි කෝප්ප දෙක කසල බදුනකට දාලා එන්න ගියා

කොහොවත් නොයා මෙන්න මෙතැන ඉන්නවා. තව ටිකකින් අපි දෙන්නාම ආයේ දෙපැත්තකට යනවා නේ. ඒ නිසාවත් මේ චුටිම චුට්ටි වෙලාවේ වත් මං ගාව ඉන්නවා කියලා කියන්න ඔනේ වුණත් අහේතුකව නොකියා හිටියා. ලිලැක් කවි පොතත් කියවා අවසන් නිසාම මම ඒ කවී පොත ඒයාට හොරෙන් ඒයාගේ ම බෑගයට දැම්මා.

💔 දැන් හවස් වෙන්නත් ළගයි නේද ?

🥺 ඔව්

💔 විසල් මම එහෙනම් ගිහිං එන්න ද?

🥺 යනවා කියලා කියන්න. ගිහිං එන්නම් කියලා නෙවෙයි.

එකවරම මාව තදින් වැළද ගෙන මගේ දෙතොල් සිප ගන්නට විය. තවමත් මම පාවිච්චි කරන ඒ සුවඳ විලවුන් එකමයි ඒයාත් පාවිච්චි කරන්නේ. තවම ඒ හුරුපුරුදු සුවඳමයි ඒයා ගාවින් හමන්නේ. ඒ ඉපැරණී උණුසුමමයි මට තවම ඒයා ගාවින් දැනෙන්නේ. ඒ දරදඬු බවෙත් කිසිම වෙනසක් නෑ. මම මගේ ඇස් දෙක පිහාගත්තා. එත් මොහොතක්වත් ගත වෙන්න වුණේ නෑ මම එයාව පැත්තකට තල්ලු කලා..

💔 ඇයි මොකෝ එකපාරටම විසල්

🥺 නෑ අපි කරන්නේ වැරදි වැඩක්

💔 ඔයා බයයි ද ?

🥺 මම බය නැහැ... දැන් ඔයා යන්න.

💔 හරි එනම් මම යන්නම්

🥺 එත් ඇයි ඔයා අද කලින්ම යන්නේ ?

💔 මදු අයියා එන්න කලින් යන්න ඔනේ මම. නැත්තම් ඒයා ආයි මං කොහෙද ගියේ කියලා විසල්.

🥺 හ්ම් හ්ම්

💔 විසල් මමයි මදු අයියායි ජුනි 25 රට යනවා. අපිට මෙහෙට වඩා ඒ ආරක්ෂිතයි. ඔයා පරිස්සමෙන් ඉන්න ළමයෝ. මම ඔයාට තවමත් ගොඩාක් ආදරෙයි විසල්

🥺 මට නෙවෙයි ඔයා ආදරේ කරන්න ඔනේ මදු අයියාටයි

💔 ඇති විසල්... ඔහොම මාව රිද්දන්න එපා ළමයෝ.... මුකුත් කියන්නත් ඒපා මම ඔයාට ඒදා වගේම අදත්, අද වගේම  හෙටත් ආදරෙයි ❤. පරිස්සමෙන් ඉන්න, වෙලාවට කන්න බොන්න, හවසට නාන්න එපා. නිදි මරන්නත් එපා පුලුවන් නම් Night Sift කරන එක නතර කරන්න. පරිස්සමෙන් බුදු සරණයි විසල්.

🥺 හ්ම් හ්ම්

එකවරම බෑගයෙන් එලියට ගත් විශාල පාර්සලයක් ලී බංකුව මත තබා ඈතින් ඇති ත්‍රී රෝද රථයක් වෙත දිවගෙන යන්නට විය.

ත්‍රී රෝද රථය වෙත දිවයද්දීත්.......

💔 මං ඔයාට ගොඩාක් ආදරෙයි ළමයෝ. එත් මට සමාවෙන්න. මට වෙන කරන්න දෙයක් නෑ විසල්... මට ඔයාගේ ආදරේ දරාගන්න වගේම අත්හරින්න අමාරුයි විසල්. මොකද මං එච්චරම ඔයාට බැඳිලා ඉන්නේ. ඔයාට පුලුවන් නම් තරු පායන දවස්වලට අහස දිහා බලන්න, මං ඔයාට පණිවිඩයක්, ඒ තරු පිරුණු අහසේ තැනක තියලා තියෙනවා.

නිරුත්තර මම ඒතැන, ඒ ලී බංකුව මතම පරාජිතයෙක් ලෙස වාඩි වුවෙමී. එකවරම නා කපන වැස්සකින් මාගේ මනස සේම ගතත්, මුළු වික්ටෝරියා උද්‍යානයත්, උද්‍යානයට මුහුණලා සිටින හිරු නොබසින අධිරාජ්‍යයේ ප්‍රතාපවත් වික්ටෝරියා රැජිණවත් වෙලාගන්නට විය.

48.
"මගේ ‍නොවෙන මගේම ප්‍රේමයක් නොතිබුණු එක මල් ගහක් ගැන මට කියන්න..... එතකොට මට පුළුවන් වසන්තයයි. ගිම්හානයයි අතර අලුත් ඉර්තුවක් ගැන එක අලුත් කතාවක් ඔයාට කියන්න

ඉර එළිය දිය වෙවි ගලන
රකුසු ඇස් දහවලක
සිඹින්නට අවසර නොමැත
කම්මුල්, දෙතොල්, නළලත

ඉතිං.........

තබා ඇඟිල්ලක් දෙතොලත
එය තවරම් ඔබේ නළලත
එහි තිබේ මා නොතැවරූ...
උණුසුම... හාදු දහසක"

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤

2024 ජුලී 05
✒️ ඔමී ©️









Wednesday, 22 May 2024

කිසියම් අයෙක් තමන්ගේ අම්මාට අම්මා කියන්නේ හදවතින් බව සිහි තබා ගන්න.


කාල බේදය අනුව ගත් කළ මට අම්මාවරු තිදෙනෙක්ද ? සත් පත්තිනී න්‍යායට අනුව මා හට අම්මාවරු සත්දෙනෙක් සිටීයහ...

බෞද්ධ සංස්කෘතිකට අනුව මම ද අම්මා ගැන ලියන්න කලින් අම්මාට වදින ගාථාව කියා මම මගේ සියලුම අම්මාවරුන්ගෙන් අවසර පතමී...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දසමාසේ උරේ කත්වා,
පෝසේසි වුද්ධිකාරණං...
ආයූදිඝං වස්සසතං,
මාතුපාදං නමාමහං...

ඇත්තටම මට අම්මා කියන චරිතය වැළලී ගිය අතීත කතාවක් වන අතර මෑත දිනක, මගේ සමීපතමයෙකු සමඟ ඇති වු ආරවුලක් හේතුවෙන්, නැවතත් ඒ ශේෂ වු නටඹුන් ගොඩ ගැනිමට සිදු විය. නමුත් ඒ සිදු වීමේ දී මා වරදකරුවෙක් නොවන අතර, මගේ නිර්දෝශිභාවය ඔප්පු කිරිමට ද, මට සාක්ෂී සාධක නොමැති බැවින් මීට පෙර සිදුවන ලෙසට ම, මම ඔහුට ජයග්‍රාහණයේ ආශ්වාදය ලබා දෙමින් මා සුපුරුදු පරාජිතයෙක් වුවෙමී. නමුත් මමත් මගේ හෘද සාක්ෂියත් මා නිවැරදී බව දන්නේය. නමුත් ඔහු සිදු කල ඒ සිදුවීම නිසා අදටත් මා හදවත තුල වේදනාවේ ගිනි දැල් බුරා බුරා නැගෙන්නේය. ඒ සඳහා ඔහුට කිසිම දිනක සමාවක්ද මා නොදෙනු ඇත.

සිදු වු සියලු දේවල් ආපසු ගත නොහැක. වේදනාව පෙර පරිදි ම හිත තුළ සඟවගෙන, සුපුරුදු ව්‍යාජ සිනාව මුහුණේ තවරමින් දෛනික ජිවිතයට මා අවතීර්ණ විය.
🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼


"ඔමී... මැයි 10 Mothers Day ! අම්මාට දෙන්න හොඳ තැග්ගක් කියන්න"
( Date - 2024 - 04 - 20 ) යනුවෙන්
-----------------------------------------------------------

කෙටි පණිවිඩයක් ආවේ මගේ අතිජාත පැරණී පාසල් මිතුරෙකුගෙන් ය.

" අම්මා නිදන සොහොන අද්දර
පිපෙන බාලෝලී තමයි ලස්සන "
කියලා දිනක් කවී පොතක දුටු කවිය,
මට එකවරම සිහියට නැගීය.

" මල් තමයි හොදම 🌸 "
කියලා පිලිතුරු කෙටි පණිවිඩයක් යැව්වේ ප්‍රශ්ණාර්ථ ලකුණක් මුණ තුළ තැන්පත් කරගනිමී.

********************************************

සියල්ල සිදුව අවසන්ය. ඉතිහාසඥ ඊ.එච්. කාර් මහතා පවසන අන්දමට "අතීතය යනු වර්තමානය තේරුම් ගැනිමේ යතුරයි."

මම සුපුරුදු ජිවිතයට අවතීර්ණ වී  කාලය ගෙවමින් සිටියේ මී. ඇත්තෙන්ම මගේ ගෙදර අමනුස්ස දෝෂයක් ඇති බව මා විශ්වාස කරන්නේය. ඒයට හේතුව මගේ මුහුණේ ගැබ් ගෙන තිබු ප්‍රශ්නාර්ථය ගබ්සා කිරිමට අවශ්‍ය ඖෂධය ඇති පොත, මගේ පොත් රාක්කයෙන් එකවරම බිමට වැටී ඇති බව දුටු විටයි.
කාලයකට කලින් හරියටම 2023 - 11 - 16 වන දින බොරැල්ල ඇම්.ඩී ගුණසේන පොත කඩෙන් මා මිලට ගත් උපුල් ශාන්ත සන්නස්ගල සර් විසින් රචිත "අම්මා" නම් ඒ කෘතියයි.

මව් කිරි වර්ණයට හුරු වර්ණයක් සහිත පිටකවරයෙන් යුක්ත පිටු 422 සහිත පොතකී අම්මා පොත.

පොතේ දකුණු පිටකවරේ...

" අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන. එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න. මං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විඳින්න.

ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ! "

මෙහෙම අප්‍රප්භාංශ සටහනක් ලියලා තිබුණා. නමුත් මම රුපියල් 1600/- ක පොතක් පැත්තකට දාන්න තිබ්බ ලෝබකමටම, හවස උණුම උණු කෝපී එකක් හදාගෙන ඇදට ඇවිත් " අම්මා පොත " කියවන්න පටන් ගත්තා. අද මේක කියවලා අවසන් කරන්න කියලා හිතාගෙන පොත අතට ගත්තාට පරිච්ඡේද 24 කියවන්න මට හරියටම දින 24 ගියා.

මට නම් අම්මා පොතේ එක පරිච්ඡේදයක් කියන්නේ දශකයක් වගේ දීර්ඝ කාලගත පරිච්ඡේදයක්. ඒ තරම් සියුම්ව, හැගීම් අකුරු අතර ගෙත්තම් කරලා තිබුණා. මට කොච්චර දැණුනාද කිව්වෝතින් පොතේ තියෙන අකුරුවල හැඩය මගේ රළු ඇගිලිවලට දැණුනා. හරියටම ඇස් නොපෙනෙන කෙනෙක් පොතක් කියවන විදිහට. වචන වලින් සුවඳ හමන්න ගත්තා. වෙලාවකට මට හිතුණා මේවා මගේ මනෝ විකාර කියලා, තවත් වේලාවක මට හිතුණා මේවා ඇත්ත. ඔව් ! මේ තමයි යාථාර්තය කියලා. මම ඇත්ත හා බොරුව අතර දෝලනය වෙන්න ගත්තා.

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

පළමු පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 22

" ආදරය දැනෙන්නේ අහිමි වූ පසුවය. ජීවී අජීවී ඕනෑ ම ආදර වස්තුවක් තමා සන්තකයේ පවතින තාක් කල් අපට එහි විසල් වටිනාකමක් දැනෙන්නේ නැත. ආදර වස්තුවක වියෝගය නිසා පෙර නො වූ විරූ වටිනාකමක් අප තුළ මතුව එන්නේය. ජීවත් වූ මගේ අම්මාට වඩා මිය ගිය මගේ අම්මා මා තුළ විශාල ව වැඩෙමින් වැඩ හිඳිමින් සිටින්නී ය. අහිමි ආදර වස්තුවක් විශාලව දැනෙන මොහොතේ ඒ ගැන ලිවිය යුතු ය. මම මගේ අම්මා ගැන ලියමි. "

ඔව් !!! ඒ කියමන සත්‍යයකි. ගොඩාක් දේවල් අපිට දැනෙන්නේ. එය අපෙන් අහිමී වු ඊළග තත්පරයේ දී පටන් ය. ආදරයද, ප්‍රේමයද ඒ කුලකයට අයත් වෙයි. අම්මා ඒ අතර ප්‍රමුඛත්වය ලබා ගනී. අම්මාගේ වියෝවේදී හඬන හා නොහඬන බොහෝ දරුවන්ගේ හිත් තුළ ඇති වේදනාවේ උණුහුම, සප්ත මහා සාගරය එක් නිමේෂයකින් වාශ්ප කල හැකි තරමට බලවත් ය උණුසුම් ය. නමුදු මේ කෘතිය කියවිය යුත්තේ අම්මා අහිමී වුවන් නොව. අම්මා මේ මොහොතේදී ජිවත් වෙන උන්‍ ය. ඇයිද යත් අම්මා අහිමි අප වැනි වුන්ට නැවතත් අතීතයට යාමට නොහැක. මේ පොත කියවා තව තවත් අභ්‍යාන්තරිකව ඇඩිමට, කදුළු හෙලීම හැර වෙනත් කිසිදු විකල්ප අවස්ථාවක් ද නැත. නමුත් අම්මා සිටින උන්ට මේ පොත තවත් අවස්ථාවක් උදා කර දෙන අපුරු හැරවුම් ලක්ෂයකී. වැරදී නිවැරදී කිරිමේ නිතිපතිවරයෙකී. සුර්‍යාග්‍රාහණයෙන් පසුව එන සුර්‍යා වැනීය.
❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤

පළමු පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 22

" මං තෙමෙන්නං. උඹ තෙමෙන්ට එපා. මං තෙමිලා තෙතබරියං වෙලා නැහිද්දෙං. උඹ සනීපෙට හිටපං. "

අම්මාලා කියන්නේ දුක් විදින අයට නෙවෙයි. අම්මලා කියන්නේ දුක රසවිඳින අයට කියලා දවසක් මගේ ගුරුවරයෙක් මට කීවා මතකයි. ඔව් මගේ අම්මා විතරක් නෙවෙයි. අපි හැමෝගෙම අම්මලා එහෙමයි. දහඩිය පෙරාගෙන උදේම නැගිටගෙන උයන අම්මාගේ ඉදන් කාර්‍යබහුල ජිවිතය නිසා සේවිකාවකට වැටුප් ගෙවමින් දරුවන් වෙනුවෙන් දිවා රෑ කැපවෙන අම්මාද අම්මාම වෙයි. හැම අම්මෙක්ගෙම ප්‍රාර්ථනාව දරුවන්ගේ නිරෝගී සෞඛ්‍ය හා සාර්ථක ජිවිතයයි.
❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤

සත්වන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 130

" මගේ රත්තරං පුතේ, දැන් ද මගේ අප්පා නැඟිට්ටෙ. මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති, මටත් කෑල්ලක් තියලා කාපං මගේ අම්මා. "

අටවන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 141

" උඹට මදි නං තව ඩිංගක් කාපං මගේ පුතේ, මට තියෙනවා "

දුප්පත්කම අපව කොතරම් දුරට ගොදුරු කරගත්තාද කියලා, මට දැනෙන්න ගත්තේ මමත් රස්සාවක් කරලා වියදම් කරන්න ගත්ත දවස්වලයි. නමුත් අම්මා හැමදාම අපිට බත් ඉව්වාය. තුන් වේලෙන් වේල් දෙකක් හෝ අනිවාර්යයෙන්ම දුන්නාය. වචන මිනිස්සුන්ව පුච්චනවා කියලා අහලා තිබුණාට දැකලා තිබුණේ නෑ. නමුත් අම්මා පොතේ තිබිලා ඒ වචන වලට මගේ අතත් එක්කම පපුව පිච්චිලා ගියා. එකවරම වැහි ළිහිණියන් රෑනක් මගේ හිසට උඩින් පියඹා ගියේ, මම ගංඟ ඇල ඉවුරු පිරිලා ඉතිරෙන්න අඩන්න යන වග දැනගෙන දෝ කියලා හිතුණා. එකපාරටම මට පරිච්ඡේදය 07 කට මෙච්චර රිදෙනවා නම් තවත් පරිච්ඡේදය 17 කියවන්නේ කොහොමද දෙයියනේ... කියලා හිතුණ වාර ගාණන අනන්තයි.

❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤


දහ තුන්වන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 227

" යමල්ලා "
දොළොස් වන පරිච්ඡේදයේ අවසානයත්, දහතුන්වන පරිච්ඡේදයේ ආරම්භයත්, දරුවෙකුටගේ හිත රිද්දන්න පුලුවන් උපරිමයට ම රිද්දලා. තිස්තුන් කෝටියක් දෙවීවරුන්ට එකවරම නිවන් දකින්න පිං අනුමෝදම් වෙන්න වචන ගර්භාෂ ගත කර තිබු පරිච්ඡේද 02 කී. 13 වෙනී අංකය කියන්නේම අසුබ යැයි සිතන සමාජ සංස්කෘතික රාමුවක ජිවත්වන මට, 13 වන පරිච්ඡේදය අතහැර එකවර 14 ට යමු යැයි නොසිතුණා කිවහොත් ඒය බොරුවකී. 12 වෙනී පරිච්ඡේදයේ අග කියවන විට ඇස්වල ඇති කදුළු නිසා බොඳවුණ අකුරු කියවන මම, දැනන් හිටියේ ලොකු හුස්මක් හෙලා ශබ්ද නගා ඇඩිය යුතුම මොහොතක් ඊලගට උදාවෙන්නේ කියායි. නමුත්....

" යමල්ලා " කියලා අම්මා කියද්දී ලේ, වතුර වෙච්ච ඇඟේ නැවතත් ලේ ටිකක් ඉණුවේ. මගේ හිතේ තිබුණ වේදනාව දස ගුණයකින් වැඩි කරමින්‍ ය.

හැම රෝහල් මෝචේරියක් ඉස්සරාම සෑම දරුවෙක්ම ප්‍රාර්ථනා පුරන්නේ

අම්මා ආයේ නැගිටිවී නේද ?
ඒ මගේ අම්මා නෙවෙයි නේද යන්නයි...
🥺🖤🌸 🥺🖤🌸 🥺🖤🌸 🥺🖤🌸 🥺🖤🌸

මමත් ඒ අසීරූ අවස්ථාවේදී
අහසේ ඉන්න දෙවියන්ගෙන්,
පොළවේ ඉන්න දෙවියන්ගෙන්,
දන්න නොදන්න දෙවියන්ගෙන් ඉල්ලුවෙත් ඒ ප්‍රාර්ථනා දෙකම විතරයි.

" යමල්ලා " අම්මා පොතේදී දැනුනේ වෙනස්ම විදිහට. ඒ වචනය මට කොපමණ වේදනාවක් ගෙනත් දුන්නාද කිව්වොත්. උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මාට දුන්න අවස්ථාව ඇයි මගේ අම්මාට නොදුන්නේ කියලා දෙවියන්ට බැනලා, පොත ඇඳ යටට විසි කරලා වරුවක් විතර අඩන්න ධෛර්යය දුන්නා.

ඇයි ???
ඇයි ???
ඇයි ???
මට ඒ අවස්ථාව දෙවියන් නොදුන්නේ කියලා....

තවත් පරිච්ඡේද 02 ක් ගැන පමණක් සදහන් කර නතර වෙන්නම්. හැගිම් අකුරු කරන එක තරම් වේදනාකාරි හැඟිමක් මේ ලෝකේ නැතිව ඇති. තමන්ගේ දුක කියන්න කෙනෙක් නැති වුණාම, මිනිස්සු හැඟිම් අකුරු කරලා අවකාශයට මුදා හැරිය යුතු යි. ඒ අඩුම තරමේ තමන්ගේ දුක නිවෙන්නවත්...

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤


විසි තුන්වන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 389

🌸 " මං ලොකු එකාට උගස් කරපු කරාබු දෙක උඹ අරන් දෙයි කියලා හිතාන ඉන්නවා.

🌸 උඹ පොඩි කාලේ කියනවා මට අගස්ති මාලයක් අරං දෙනවා කියලා,

🌸 උඹ මාව දඹදිව යවනවා කියලා කිව්ව නේද?

🌸 මගේ වම් අත වෙවුලනවා. කොළඹ ගිහිල්ලා. හොඳ දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ඩිංගක් ගන්න ඕන.'

🌸 ඇහේ කබ එන්නේ රත්තයාට. කොළඹින් බෙහෙත් ඩිංගක් ගන්න ඔන.

🌸 මං මැරෙන්නෙ කවදාක හරි උඹේ ළඟ. උඹේ ගෙදර. මාව කොළඹ එක්ක පලයං මයෙ පුතේ. "

සමහර විට මගේ අම්මා හා මේක කියවන ඔයාගේ අම්මා, මේ වගේ හෝ මීට හාත්පසින්ම වෙනස් ඉල්ලීම් ඔබෙන් මගෙන් කරන්න ඇති. සමහර විට අපි සිල්ලර හීන හෝ යාථාර්තවාදී නොවන හීන කියලා හිතන්න ඇති අම්මාට කියන්න ඇති.

නමුත් ඒ හීන මගහැරුණ හීන වෙනවා අම්මා අපිට නැති වුණ දවසට. මටත් මතකයි මගේ අම්මා කියනවා මගේ ඉස්ස ඉස්සෙල්ලා පඩියෙන් මොන දේ කරන්නත් කලින් එයාට ඇදුමක් අරන් ඔනේ කියලා.

මං ඇහුවා ඒ ඇයි ? කියලා...

" හැමෝට පෙන්න අදින්න ඔනේ. හැමෝටම කියන්න ඔනේ මගේ කොල්ලාගේ ඉස්සෙල්ලා පඩියෙන් මට අරන් දුන්නා කියලා " එයාගේ උත්තරය වුණා.

ඔව් මං රස්සාවකට ගිහිං පඩියක් ගත්තා ලස්සන ඇදුමකුත් ගත්තා නමුත් අම්මා ගොඩාක් දුර ගිහිං එතකොටත්. අදටත් ඒ‍යාගේ නමින් ගොඩාක් දේවල් කලත්, ඒයාගේ ඒ හීනය මට සෑබැ කරන්න බැරි සෑබැ කරගන්න බැරි මගහැරුණූ ම හීනයක්. අදටත් ඒ මගහැරුණු ම හීනය මට අලුත් ඇදුමක් ගනිද්දී රිද්දනවා.

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤


සතර වන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 75

" මගේ අම්මා ඇත් රැජිනක් වෙයං...
අම්මා උඹ මහා මායා වෙයං...
යසෝදරා වෙයං....
මගේ රත්තරං අම්මා
සම්මා සම්බුදු වෙයං... "

අවසානයේ අපි හැමගේ ප්‍රාර්ථනාව අම්මා සම්මා සම් බුදු විය යුතු බවයි. නමුත් අම්මා... නිවන් දැකීමට මොහොතකට කලින් හෝ අපව මතක් වුවහොත් ආපසු හැරි එන චරිතයකී. ඒ නිසාම අම්මාට දෙන්න පුලුවන් හැම මොහොතක්ම අම්මාට දෙන්න.

🌼 අම්මාට කතා කරන්න පුලුවන් හැම වෙලාවකම කතා කරන්න.

🌼 අම්මා ගැන හොයලා බලන්න පුලුවන් හැම මොහොතකම හොයලා බලන්න.

🌼 කවමදාකවත් අම්මාගේ Call එක කට් කරන්න එපා. මහා රජුන් ළග සිටියත් " ඇයි අම්මේ හදිසියක්ද කියලා අහලා බලලා කෝල් එක කට් කරන්න " සමහර විට අපි Cut කරන Call එක එයාගෙන් එන අන්තිම කෝල් එක වෙන්න පුලුවන්.

🌼 නිවාඩු දවසක අම්මාගේ කකුල්, කකුලේ යටිපතුල් තෙල් බෙහෙත් ටිකක් ගහලා අතගහන්න. මහන්සීද අම්මේ අම්මාට ? කියලා අහන්න.

මැරෙන්න තරම් මහන්සියක් තිබුණාත් අම්මා දෙන උත්තරය " නෑ මගේ රත්තරං පුතේ " කියලායි.

ලෝකයාට ත්‍රස්තවාදීයෙක් වුණත් අම්මලාට තමන්ගේ දරුවා විරයෙක් අම්මලා එහෙමයි.

---------------------------------------------------------------------

අනික් කාරණය මිනිස්සු තමන්ට තියෙන දේවල් ගැන ආඩම්බර වුණාට උද්දච්ච වුණාට කමක් නෑ. ලෞකීක හා භෞතික වස්තුවල, ඇති නැති පරතරය තව කෙනෙකුට පෙන්නුවාට ගෙනහැර පෑවාට කමක් නෑ.

නමුත් කවමදාකවත් අම්මෙක් නැති කෙනෙක් ඉස්සරහා අම්මෙක්ගේ වටිනාකම නොකියන්න. සමහර වෙලාවට ඒයා අම්මා කියන්නේ කවුද ?
ඒයාගේ වටිනාකම මොකක්ද කියලාවත් දන්නේ නැතිවෙන්න පුලුවන්.

ඒ වටිනාකමක දැන ගන්නේ තව කෙනෙක් ලියපු පොතකින් කවියකින් වෙන්න පුලුවන්.

කිසියම් අයෙක් තමන්ගේ අම්මාට අම්මා කියන්නේ හදවතින් බව සිහි තබා ගන්න. 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

අවසානය උපුල් ශාන්ත සන්නස්ගල සර්ට ගෞරවය ලෙස ඔහු ඔහුගේ අම්මාගේ අවමංගලය උත්සවයේ දී සිදු කල කතාව සමග අවසන් කරමී...

මගේ අම්මගේ අවමංගල්‍යාත්සවයට පැමිණි සියලු දෙනාගෙන් ම අවසරයි. ලියෝ ටොල්ස්ටෝයි කියන ලේඛකයාගේ බිරිඳ තමන්ගේ ජීවන පුරාවෘත්තය ලියලා තියෙනවා මහා පුරුෂයෙකුට බිරිඳක් ව කියන පොතේ. ඒ අම්මාටත් දරුවො ගොඩක් හිටියා. අපේ අම්මටත් දරුවො එකොළොස් දෙනයි. ජීවතුන් අතර ඉන්නවා දහ දෙනෙක්. එක් කෙනෙක් පොඩි කාලේ මැරිලා.

අපේ අම්මා මේ දරුවො දහය හදන්න දස මාස ගානේ අවුරුදු දහයක් ගැබ්බර වෙලා හිටියා. දරුවන් වෙනුවෙන් ජිවිත කාලෙම දුක් වින්දා අම්මා කියන්නේ උපන් දා ඉඳලා මැරෙන කල් ම දුක් වින්ද ගැහැනියක්.

මගේ අම්මා අපි වෙනුවෙන් කරපු දේවල් අපිට මේ ජීවිත කාලෙ වන්දියක් විදිහට ගෙවලා ඉවර කරන්න බෑ. අපේ ගෙදර බඩ පිස්සා මම, මං පොඩි කාලේ අබ්බගාතයා. මෙතන ඉන්න ගොඩක් අය වාසනාවන්තයි කියල හිතන අපේ පවුලේ අවාසනාවන්තයා මම.

මගේ හදවත නිකම් ම මස් වැදැල්ලක් නො වී හිතන්න මට සිද්ධ වෙලා තියෙනවා. ඒ උරුමයත් අම්මගෙන් ම ලැබුණු එකක්. අම්මා ගැන හිතලා හිතලා ම තමයි. මගේ පපුව ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවා නම් මං කැමතියි ලබන ආත්මේ ගැහැනියක් වෙලා උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන.

එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න. මං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විඳින්න. ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා අපි දෙන්නම ආයෙන් උපදිමු රත්තරං අම්මේ. මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න අම්මේ!'

✒️ ඔමී ©️


 

Friday, 3 May 2024

තහනම් බව දැන දැනත් තහනම් ගහේ ගෙඩි කන්න අපි ලෑස්ති වුණා...



ඔයා මං ලගට එන්නේ මට මාවම එපා වුණ මහාම මහා මුසල පරිච්ඡේදයක. මම කවුද කියලාවත් දන්නේ නැතිව හතර හතේ දුවද්දී ඔයා මගේ ලගට ආවා. ඔයා ආවා විතරක් නෙවෙයි මං ලඟ බලහත්කාරයෙන් නතර වුණා. 

කාලය...

ශීඝ්‍රගාමීයව ගෙවී ගියාද ? 

මන්දගාමීව ගෙවී ගියාද ?

කියලාවත් මට කාලයක් යන තෙක්ම වටහා ගැනීමට නොහැකි තත්ත්වයක ඉන්න වුණා. ඒ අමිහිරීම කාලච්ඡේදයේ දීත් ඔයා දුර ඉදිමින් මං දිහා බලාං උන්නා...


-------------------------------------------------------------------


හඳ දිහා බලාගෙන හීන මවන්න ඕන මම, දැවෙමින් ඉන්න හිරු දිහා බලමින් ප්‍රාර්ථනා කරපු දවස්මයි තිබුණේ, දින පොතේ පිටු පිරෙන්න. 


සමහර දවස් ඇත්තෙන්ම තිබුණා...


❤️🖤 මං නිවාඩු දවස්වල නොදන්න ගම් පළාත් වලට බස් ටිකට් අරන් ජනෙල විදුරුවට හාන්සී වී ඔන්න ඔහේ ගමන් ගිය. 


❤️🖤 වරු ගණන් කකුල් වෙව්ලනකං හිත නිවෙන්න කියලා මුහුදු රළට ප්‍රේම කරපු.


ඒවායින් තව තවත් වුණේ රිදුණු තැලුණු තැන් තව තවත් පැරෙන එක මිසක්, පෑරුණු තැන් වලින් ලේ ගලන එක මිසක් වෙන කිසිවක් ම නෙවෙයි.


🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸


වහලට අමුණලා තියෙන උළු කැට වහලෙන් අයින් කලා නම්, මටත් අහසටත් වැඩි දුරක් නෑ නේ. එහෙම නම් අතින් තරුවක් ඇදලා ගන්න තිබුණා කියලා හිතපු මම, අද කඩා වැටෙන තරුවක් දැකපු ගමන් ඉන්න තැන හිදමින් ඇස් දෙක තදින් වහගෙන ප්‍රාර්ථනා පුරන්නේ හැමදාම මම දැකපු ඒ හීනය හැබෑ වෙන්න කියලයි. 


නමුත් කාලය ද, සොභාව ධර්මය ද, දෙවියන් ද, මම ද,  ඔයා ද, කවුද කින්දමන්ද, කාටද, ඇයි, මොකටද, කියලා හිතන්නවත් බැරි අහිකුණ්ඩක මං අතට ඔයා ආවා ළමයෝ...


මට තවම මතකයි. 


"❤️ - මට කොච්චර ආදරෙයි ද ?

 කියලා ඇහුවාම."

ඔයා මට දුන්න උත්තරය...


ඔයා නිහඩව හිනා වුණා මිසක්. කවමදාකවත් මට උත්තර බැන්දේ නෑ…


මම හැමදාම ඒ නිහඩ බවට තදින් වෛර කලත්. අන්තිමේටම ඒ නිහඩ බවට, නිවුණ බවට, මං ආදරේ කරන්න පටන් ගත්තා. 


අන්තිමේට මම ඔයාව පේලියෙන් පේලිය කියවන්න ගත්තා. පිටුවෙන් පිටුව කාටවත් නොඇසෙන්න කළුවර කෑලී කපන්න පුලුවන් මහා රෑක, නා කපන වැහි දවස්වල කාටවත් නොඇසෙන්න ඒ පිටු පෙරලුවා. සමහර දවස් තිබුණා කාටත් හොරෙන් මම ඔයාව පපුවට තුරුල් කරන් නිදාගත්ත.


-------------------------------------------------------------------


අන්තිමේට මමත් නොදැන, මම ඔයාව කියවන්න පටන් අරන්. ඔයාට ආදරේ කරන්න පටන් අරන්. අපි දැන් පරිච්ඡේද කිහිපයක් පසු කරන ගමන් ඉන්නේ ළමයෝ. මම විශ්වාස කරනවා ඔයා මට නොලැබුණා නම් මම තවමත් ඒ වැටුණු තැන, නැවතුන තැන ඉදීවී කියලා. 


ඉතිං " ඔයා තමයි මට මේ ජිවිතේට ලැබුණ ලස්සනම තෑග්ග ❤️". 


ඔව්... මගේ ජිවිතේ අසම්මත ඒ අංශක 180° වේ හැරවුම් ලක්ෂය වෙන්න ඔයාට පුලුවන් වුණා. තහනම් බව දැන දැනත් තහනම් ගහේ ගෙඩි කන්න අපි ලෑස්ති වුණා...


ඇත්තෙන්ම මෙහෙම සටහනක් ලියන්න හේතුව. මට 2024 - 05 - 03 (අද) සිදු වු සිදුවිමක්. උදේ 4.33 ට වැඩට යන්න නැගිටපු මං, මුලින් කලේ ෆෝන් එක අතට අරන් මට ආපු CALL, MESSAGE බලපු එක. ඒ ටික බලපු මම කම්මැලිකමට WHATAPP STATUS  බැලුවා. යාලුවෙක් ඒයාලාගේ ප්‍රේමයේ දෙවැනි සංවත්සරයේ සුබ පැතුම දාලා තිබුණා. මතක සටහන් ගොන්නක විඩියෝ එකකුත් එක්ක. 

🥺😔🥹 🥺😔🥹 🥺😔🥹 🥺😔🥹 🥺😔🥹


ඉතිං ලස්සන මගේ හිතුවක්කාර මෝඩ ළමයෝ. අපිට කොහෙද ප්‍රේමය සමරන්න දවසක්. සමහර දේවල්වල තත්පර කටුවේ මිණුම එක්ක මතක තියාගෙන ඉන්න මට කොහොමද ඒක මතක නැත්තේ. 🥵


ඇත්තෙන්ම අතපසුවෙන්න මොකක්ද හේතුව කියලා, හිතන්න ගනිද්දි..... 

බය වැඩිකමට අඩන්න ගත්තා, ගත්තා නෙවෙයි ඇඩුණා. දිනපොත් කිහිපයක් පෙරලලා හෙව්වත් හොය ගන්න බැරි තරමට මං අසරණ වුණා. ඒක මොහොතක මගේ මුළු ලෝකයම නතර වෙන්න පටන් ගත්තා. ඔයාට කිව්වොත් බනින නිසාම මම තවත් බය වුණා. තවත් හයියෙන් අඩන්න ගත්තා. මුළු පොත් රාක්කයම බිමට පෙරලලා දැම්මා. අන්න ඒතකොටයි මං දැක්කේ 


🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤


" සම්බන්ධය තියෙන්නෙ අපි දෙන්නා අතර නම්. අපි දෙන්නට ඕන නැති කෙළවරක් අනික් මිනිස්සු හොයන්නෙ ඇයි ?

විවාහ වෙච්ච බිරිඳ එක්ක තියෙන සම්බන්ධය වලංගු වෙන්නෙයි,

අපි අතර තියෙන සම්බන්ධය අවලංගු වෙන්නෙයි එයා කොළේක අත්සන් කරපු නිසා ද? 

විවාහයේ දී අත්සන් කරලා ඔප්පු කරන්නෙ සදාකාලිකවම ආදරෙයි කියන එක ද? 

මේ ලෝකෙ ඕන දෙයක් වලංගු වෙන්නේ අත්සන් කළාම කොලේක ලිව්වම විතර ද? මිනිස්සුන්ගෙ හිත වැඩ කරන විදිහට, උන්ගේ හිත ඇතුළෙ තියෙන හැඟීම් වලට වටිනාකමක් නැද්ද? 

අපි අතර තියෙන සම්බන්ධෙ වලංගු නැත්තෙ ඒක කොලේක ලියලා ඔප්පු කරලා නැති නිසාද? 

එහෙම මිනිස් ගණුදෙනු හිත්වල තියෙන්න බැරි ද? 

සම්බන්ධයක් කොහේ හරි ස්ථානගත වෙන්නම ඕන ද? 

කෙළවරක් තියෙන්න ම ඕන ද? 

අපි දෙන්නා මැරුණහම ඒක කෙළවර වෙයි. ඔයා මුලින් මැරුණොත් මාත් ඒ එක්කම මැරෙයි. මැරුණෙ නැත්නම් මං මතකෙන් එක්ක ජීවත් වෙන්නනම්, 

මං මුලින් මැරුණොත් ඔයත් ඒ එක්කම මැරෙයි. මැරුණෙ නැත්නම් මතකෙත් එක්ක ජීවත් වෙන්න. 

ඉතිං එච්චරයි නේ. 

අපේ ආදරේට ඊට වඩා කෙළවරක් ඕන ද?"


ඉෂා සිරිනිවාසන්

කොළ පාට ඇස් කෘතිය 💚💚💚


මේ වචන ටික මාව සුවපත් කලා. ඇඬිල්ල නතර කලා. ලොකු හුස්මක් අරන් නිදහස් වෙන්න පුලුවන් වුණා. ඒ මේ පොත අපි දෙන්නාට ලැබුණ විදිහ නිසාම. මේ පොත කියවන්න අපි ගිවිසුම් ගත වුණ විදිහ නිසාම. 


❤️ "ඇයි... ලස්සන හිතුවක්කාර මෝඩ ලමයෝ මාව හොයාගෙන එන්න මෙච්චර කල් ගත්තේ.... ?"


මං කිහිප වතාවක්ම ඔයාගෙන් අහපු ප්‍රශ්නක් මේ.....


ඒ හැම වේලාවකම ඔයා.... 

🖤 " ලස්සන දේවල් හමුවෙන්නේ පමාවෙලා " 

කියලා මගේ තොල් තදින් සිපගත්තා...


මට ඔයා නැතිව පාළුයි ළමයෝ. 

ඒ වාගෙම මං ඔයාට ගොඩාක් ආදරෙයි. ඉක්මනින් එන්න...

වේලාවට කන්න බොන්න...

හවස් වෙලා නාන්න එපා...

පරිස්සමෙන් ඉන්න... 

මම ඔයාගේ 

ලස්සන,

හිතුවක්කාර, 

මෝඩ ළමයා.....


✒️ ඔමී ©️

Friday, 16 February 2024

ඉතින් ඒ පිරිමි ආදරෙට මං හරි ආදරෙයි. ❣️

 


දිනය 2024 - 02 - 14
වෙලාව රෑ 11.50 යි

💙 හලෝ ඔමී...

❤ උඹ නිදි නැද්ද තවම ?

💙 නෑ...

❤ නෑ... කියලා දන්නවා මං. තෝ පළවෙනි Ring එකෙන්ම ෆෝන් එක උස්සද්දී.

💙 කියන්න ඇයි කෝල් ගත්තේ ඔමී....

❤ ඔයා ආදරේ කරන මනුස්සයා, මට කතා කළා.

💙 හ්ම් හ්ම්

❤ මේ දෙයක් අහන්නම්. කියන්න පුලුවන් දෙයක් නම් කිහාං. මට පුලුවන් ඔයාට ඇහුම්කන් දෙන්න.

💙 මම දැකපු හොදම සවන්දෙන්නා ඔයා ඔමී. ඔයාට නොකියන දෙයක් තියෙනවාද මම.

❤ එයා කියපු නිසාම නෙවෙයි. මමත් අහන්න හිටියේ. මේ 2024 අවුරුද්ද පටන් ගත්තා දවසේ ඉදන් ඔයා ගොඩාක් වෙනස් වෙලා කියලා මට දැණුනා, ගොඩාක් තැන්වල දී.

💙 හ්ම් හ්ම්

❤ බස්සෙක් වගේ ඔව් ත් නැති නැහැ ත් නැති උත්තර එපා මට. ඇයි උඹට දැන් ඒ මනුස්සයාව එපාද ? ඔයා එයාට ආදරේ නැද්ද ... ?

💙 ඔමී... ඔයාගේ විදිහට කවියකින් ම කියන්නද මම,
----------------------------------
21. ප්‍රේමය
දාහක් පින්තුර අතර
මගේ චිත්‍රය
ඔබ !
---------------------------------

❤ මේ කවිය මට කියවලා පුරුදුයි වගේ...

💙 ඔව් මේක "වෙල්වට් ප්‍රේමය" කවි පොතේ කවියක්. ඒ දරදඩු මනුස්සයා තමයි දැන් මගේ හැමදේම ඔමී...

❤ එහෙම නම් ඇයි ? මොකද වුණේ ඔයලා අතර, ඇයි ? හැමවෙලාවකම තොරතොංචියක් නැතුව කතා කරන ඔයා අද නිහඩ වෙලා...

💙 ඔමී... මම මේක නොකියා ඉන්නමයි උත්සහා කලේ, නමුත් කමක් නෑ හෙට උදේට මගේ පපුව පැලිලා මැරිලා හිටියොත්. ඉතිං කවුරුත් නොදන්න මගේ නිර්දෝශි කතාව එක්කෙනෙක් හරි දැන ගන්න ඔනේ.

❤ පිස්සු කතා කියන්න එපා. මොනවාද මම නොදන්න ඔයාට තියෙන ප්‍රශ්ණ... ?

💙 ඔමී... ඔයාට මතකද මම අන්තිමේට අඩපු දවස ?

❤ ඔව්... එත් ඒ ඔයා අන්තිමේට අඩපු දවස නෙවෙයි. ඔයා පලවෙනියාට අඩනවා දැක්කෙත් එදායි මම, මේ අවුරුදු 27 ටම.

💙 සමහර විට....

❤ නෑ... ඔයා අම්මා මැරුණාමත්, තාත්තා මැරුණාමත් ඔහොම කෑ ගහලා ඇඩුවේ නෑ නේ. ඒ හැම මොහොතකම මං ඔයා ලගම නේ හිටියේ...

💙 මේතැන ඉදන් මමයි කතා කරන්නේ. ඔයාට පුලුවන් "හ්ම් හ්ම්" ගහලා උත්තර දෙන්න විතරයි හරිද එකගද. ප්‍රතිප්‍රශ්ණ අහන්න බෑ ඔමී... පොරොන්දු වෙනවා නම් මං කියනවා කතාව...

❤ හ්ම් හ්ම්

💙 මෝඩ කොල්ලා...

❤ හ්ම් හ්ම්

💙 ඔමී... තාත්තාගෙ මරණෙන් පස්සේ ජිවිතේ කණ පිට පෙරළුනේ පොතක පිටුවක් පෙරළෙනවා වගේ සියුම්ව. කාලය දින, සති, මාස කියලා ගෙවිලා යද්දී මටත් ඒ යාථාර්තයට ආයේ මුහුණ දෙන්න අවස්ථාවක් ආවා...

ආච්චිත් ඒ ගෙවන දින මාස එක්ක වයසට යනවා. එයාට මාත් එක්ක ඉන්න තියෙන කාලය අඩු වෙන්න ගන්නවා. මගේ ජිවිතේ ආච්චි කියන්නේ ම වෙනම පරිච්ඡේදයක්. ඒයා ගැන පොතක් හරි ලියන්න පුලුවන් මට. ඒ තරමට එයා මගේ හැමදේම. සමහරුන්ට අම්මා තාත්තාට පස්සේ ආච්චි සීයා...ඒත් මට ආච්චීට පස්සෙයි අම්මා තාත්තාත්...

❤ ඔව් මං ඒක හොදටම දන්නවා.

💙 මං කිව්වා ඔයාට පුලුවන් "හ්ම් හ්ම්" ගාන්න විතරයි.

❤ හ්ම් හ්ම්

💙 ඉතිං ආච්චි ගේ අන්තිම දවස් තුන ගැන ඔයා දන්නවාද? නැහැ නේ. ඔයාලා නොදන්න කතාවක් අපි අතර වුණා.
ඉන්න මං කියන්නම්. ඒයා එක පාරටම අසනිප වෙලා ඇදට වැටුණාම මං ඔෆිස් එකේ ඉදන් දුවාගෙන ගෙදර ආවේ නා කපන වැස්සක් එක්ක. එනකොටත් එයා ඇදේ හාන්සි වෙලා නිදාං හිටියේ. ඉතිං මමත් එයා ළගින්ම වාඩි වුණා. ( මදක් නිහඩයි )
🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍

ටික වෙලාවකට පස්සේ මං දැක්කා මම උදේ උයලා ගියපු කෑම ආච්චි කාලා නෑ කියලා. ඉතිං ඒයාට තේ හදන්න කුස්සියට යද්දිම, මං ගොඩාක් ම ආසා කරන මං තේ බොන කෝප්පය වැටිලා කැඩෙනවා. ඒක අහඹු සිද්ධියක් කියලා හිත හදාගෙන, හවස බුදුන් වදින්න යද්දී බුදු පහනත් මගේ අතින්ම වැටිලා බිදිලා පොල්තෙල් සිසීකඩ විසිරෙනවා. දැන් නම් හිත ගොඩාක් නොසන්සුන් වුණා. මම බය වෙන්න ගත්තා. කොහොමද මේ තනීවීම මම දරාගන්නේ කියලා. බය වෙලා පවුලේ හැමෝටම කෝල් කරලා සිද්ධිය කිව්වාම හැමෝම ආච්චිව බලන්න ආවා....(ලොකු හුස්මක් අත්හරී.....)

❤ ඔයා අඩනවාද......

💙 නෑ ! නෑ ! ඔමී... ඊට පස්සේ නංගි ගේ පොඩි එක්කෙනා ගෙදර ආවාම ඒයාගේ සද්දෙට ආච්චි නැගිට්ටා. දැන් මට මාරම සතුටුයි. එක පාරටම පිරිමියෙක් වෙලා ඉපදුණ එක ගැන දුක් වුණා. සම්ප්‍රාදාය  සංස්කෘතික, සමාජ සම්මත අපිට ඉගන්නලා තියෙන විදිහට, කියලා දිලා තියෙන විදිහට පිරිමියෙක්ට දුකටවත් සතුටටවත් අඩන්න බෑ... කෑ ගහලා අඩන්න බෑ... බදාගෙන අඩන්න බෑ... මට ඒ වෙලාවේ අනේ මාව දලා යන්න එපා... මට බයයි තනියෙන් ඉන්න... කියලා අඩන්න හිතුණා. එත් දෛවය මට වඩා ඉක්මන්. නංගිගේ පොඩි එක්කෙනා ගියා පස්සේ ආච්චි ඇදට වැටුණා වැටුණාමයි පහුවදා උදේ වෙනකංම කතා කලේ නෑ. මම පහුවදා උදේ බය වෙලා ඩොක්ටර් කෙනෙක් ගෙදරට එක්කං ආවා ආච්චිව පෙන්නන්න. ඩොක්ටර් බලලා කිව්වා පවුලේ ඉන්න හැමෝටම ඇවිත් බලලා යන්න කියලා. මගේ මුළු ලෝකයම කඩා ගෙන බිමට වැටුණා ( කටහඩට වේදනාව මුසු විය දිර්ඝ නිහඩියාවක් )

❤ ඔයා හොදින්ද....

💙 ඔව්... ඔව්... හොදින් ඔමී ළමයෝ... හැමෝම ඇවිත් බලලා කිරි දාන්න පටන් ගත්තා. ඒ කිරි දාද්දී ආච්චි වම් අතින් ඇදට තට්ටු කරලා අත ගහන්න ගත්තා. ඒ එයා රෑට මං ළග නිදා ගනිද්දී කරන දෙයක්. මං දවසක් ඇහුවා ඇයි ඒහෙම මට කරන්නේ කියලා. එයා කිව්වා මම පුංචී කාලේ නින්දෙන් ඇවිදිනවලු. ඒකලු එයා එහෙම බලන්නේ මං ඉන්නවා ද කියලා. ඉතිං මම ඉක්මනින් ඇදට ගිහිං එයා ලග වාඩි වෙලා එයාගේ අත මගේ අත් දෙක අතරට මැදි කරගත්තා. ඒ වෙලාවේ ඒ අත මගේ අත හයියෙන් අල්ල ගත්තා. පොඩි එකෙක් මාව දාලා යන්න එපා කියලා කියනවා වගේ. ( හයියෙන් අඩන්න ගත්තා )

❤ හිත නිදහස් වෙනකං අඩන්න. අඩලා... අඩලා... හරි ඔය දුක තුනී කර ගන්න ළමයෝ

💙 කොච්චර දවස් ඇඩුවත් මේ දුක තුනී වෙන්නේ නෑ ඔමී. ඉතිං ඒ අත මට ආයේ අත්හරින්න අවස්ථාවක් ආවේ නෑ. මොකද මම අ‍ත් හැරිය ගමන් ආයේ ඇදට තට්ටු කරලා මාව හොයන්න ගන්න නිසා. මට ඒ වෙලාවේ පොළව පලාගෙන යන්න හිතුණා ඔමී... ඔහොම දවසක් ගෙවිලා යද්දී. මට තේරුණා ආච්චිට මාව මේ ලෝකේ තනියෙන් දාලා යන්න බැරි නිසා, මෙහෙම අන්තිම හුස්ම අල්ලන් දුක් විදිනවා කියලා.

මට මතකයි තාත්තා මැරුණාම හැමෝම කිව්වා ආච්චිට ඒයාලාගේ ගෙදර එන්න. මේ පොඩි එකාට ඔයාව බලාගන්න බෑ නේ කියලා. එතකොට එයා කිව්වේ "මගේ පොඩි එකාව තනියෙන් දාලා මම කොහෙවත් යන්නේ නෑ කියලායි. මම දුක හරි සැප හරි මගේ දරුවා එක්ක ඉන්නේ කිව්වා. මම ගියොත් මගේ දරුවා තනිවෙලා මැරිලා යයි  කිව්වා."

තුන්වෙනී දවසේ රෑ ගෙවිලා යන්නේ ආච්චිට එයාගේ අන්තිම හුස්ම අත් හරින්න කියලා කියන්න, මගේ හිත හදා ගන්න මුළු රෑයක්ම එලිවෙනකං අඩන ගමන්. අපි ආදරේ කරන අයට අපි ආදරේ කරන කාලේ කියනවා. "අපිව දාලා යන්න ඒපා කියලා." ඒත් මෙහෙම ඒයාට යන්න බැරිව දුක් විදින කොට ඒයාට යන්න කියලා කියන්න, හිත හදා ගන්න මම මේ ආත්මයේම සරාසංඛ කල්ප ලක්ෂයක් මැරිලා ඉපදෙන්න වුණා ඔමී...

අන්තිමේට තුන්වෙනී දවසේ හවස අමාරුවෙන් හිත හදාගෙන ආච්චිට කිරි ටිකක් වැක්කෙරුවේ එයාගේ සුදු කෙස් පිරුණු ඔලුව අතගහන ගමන්. මං එයාට කිව්වා ඔයා පරිස්සමෙන් යන්න ඒ ලෝකේ ලස්සන ඇති, හනික අම්මාත් තාත්තාත් ඔයාගේ පාළුවට ඉන්නවා නේ කියලා.
ඇත්තටම මම තනිවෙයි කියලා දාලා නොයන තරමට මට ආදරේ කරපු මනුස්සයෙක්, මේ ලොකේ මං වෙනුවෙන් හිටියා ඔමී....

ඊට පස්සේ ආයේ ඒයාගේ වම් අත කිසිම වෙලාවක මාව හොව්වේ නෑ. නමුත් කොච්චර මාව දාලා ඒ ලොකේ ට යන්න කිව්වාත් අපේ හිත් ආදරේ ට කෑදරයි ලමයෝ... ඔමී මට අමාරුයි බම්...
( ඉකී ගසමින් අඩයි )

❤ හරි මම ඔයාට හෙට ගන්නම්.

💙 එපා... එපා... මේක කියලා ම ඉවර කරන්නම් මං අද. ඉතිං එයා මාව හෙව්වේ නැති වුණත් මම එයාගේ වම් අත අරන් මගේ අත් දෙකෙන් අත ගැව්වා ඒ ඇගිලි අත ගැව්වා. ඒ අත් ඒ ඇගිලි මගේ කැත කුණු අනන්ත අප්‍රමාණයක් අත ගහලා ඇති. ඒ අත් වලින් කොච්චර නම් ගුටි කාලා ඇද්ද. මං දන්න කාලේ ඉදන් හැම රැකම මාව අත ගාලා හොයලා ඇද්ද...

අන්තිමේට එදා රෑ 12.15 ට ඒ හුස්ම ටික නතර වෙන්නේ මගේ ම ඇස් ඉස්සරහා පිට ඒ අත් අන්තිමේට මගේ අත තදින් අල්ලා එක පාරටම අත් හැරිලා. මාව  තනියම දාලා මේ ලොකෙන් සදහටම එයා යන්න ගියා ඔමී...... ( කෑ ගහලා අඩන්න ගත්තා )

❤ ඇති තරම් අඩන්න අදවත්. ඇයි ඔයා ඔච්චර ලොකු දුකක් හිතේ හිරකරං අඩන්නේ නැතිව හිටියේ මෝඩයෝ...

💙 ඔයා දැක්කා නේ ආච්චිව වලලද්දී මට ඒ දුක දරා ගන්න බැරිව අඩද්දී ද් ඒකටත් ඉඩක් ලැබුණේ නෑ කියලා... මට අමාරුයි ඔමී... හැමදාම වගේ රෑට මේවා මතක් වෙලා ඇඩෙනවා මට...

❤ මේ සිද්ධියටයි. ඔයාට පණ වගේ ආදරේ කරන ඒ මනුස්සයයි අතර සම්බන්ධය මොකක්ද ?

💙 ඔයා දන්නවා නේ. එයා මට පණ වගේ ආදරෙයි කියලා. මමත් එහෙමයි එයාට පණ වගේ ආදරේ ඔමී....
මම ආයේ කවියක කෑල්ලක් කියන්නම්. වෙල්වට් ප්‍රේමය කවි පොතෙන්

----------------------------------------------------------------
66. උඹ තරුව ! මම ඉර !

උඹට ආදරේ කරන එකම රිස්ක් එකක්.
මං ආසයි ඒ රිස්ක් එක ගන්න.
ඉතුරු ජිවිතේ පුරාවට...
---------------------------------------------------------------

හැමෝම විරුද්ධ වෙද්දී මම එයාට ආදරේ කලා. දෙවියන් වහන්සේ එපා කියද්දී ආදම් සහ ඒවා තහනම් ගහේ ගෙඩි කෑවා වගේ. ඒ ඇයි කියලා මමවත් දන්නේ නෑ ඔමී... එයා ළග ඉද්දී මට Safety Zone එකක Comfortable Zone එකක හැගිමක් දැනෙනවා. ඇත්තටම ඒ පපුව උඩ හුස්ම ටික නතර වෙන්න කියලා දවසක් ඒයාගේම පපුව උඩ මැතිරුවා මම.

❤ ඔව්.. දෙන්නාට දෙන්නා මෙච්චර ආදරේ නම්. ඇයි ? මෙහෙම නිහඩව ඉන්නේ කියලා මට තෙරෙන්නේ නෑ....

💙 එයා මට වඩා හත්ගොව්වාක් දුර තියෙන පොළවක ඉන්නේ ඔමී... මම මේ ගෙන්දගම් පොළවේ ඉන්නේ. අනික එයා ගියේ දිනින්න. ඒ ගමන මල් වලින් පිරුණු සමනල මාවතක් නෙවෙයි කියලා අපි දන්නවා නේ. එයාට පලවෙනී දෙවෙනී බාධක හමුවෙන්න ගද්දීම එයා කඩාගෙන වැටුණා ඔමී....

ඔයා මේ ලගදී වෙල්වට් ප්‍රේමය පොතේ කවියක් ලිව්වා නේද ?

61. නපුරෙකුට පෙම් කලෙමී ! කියලා
ඇසිය යුතු හා නොඇසිය යුතු කියලා. මට ඒ ඇසිය යුතුයි කියන ප්‍රශ්නවත් අහන්න එයා ඉඩ දුන්නා නෑ ඔමී...

❤ ඒ කියන්නේ එයා ඔයාට බැන්නද ? ඔයාව ඒපා කිව්වා ද ? නැත්තම් මේ සම්බන්ධය නතර කරමු කිව්වාද ? කියනවා මට කියනවා...

💙 නෑ... එයා මට එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වා නම්, මම ඒ දුක දරාගන්නවා ඔමීයෝ... මම ඔයාට ඒක කියන්නේ නෑ. ඔයාම ඒක කියවලා බලන්න.

---------------------------------------------------------------
වෙල්වට් ප්‍රේමය කවි පොත
68. පිරිමී ආදරේ

ආදරේ ක්‍රියා පදයක් !
LOVE IS A VERB !
එච්චරයි !

ඒ තියරිය මට කියා දුන්නේ
ඔබ
ඉතින් ඒ පිරිමි ආදරෙට මං හරි ආදරෙයි.
-----------------------------------------------------------------

කියන කවි පේළීයට උඩ තියෙන කවී පේළීවල තියෙනවා උත්තරය. වෙල්වට් ප්‍රේමය කවි පොතක් ඔයා ලග තියෙනවා නේද ?

❤ ඔයාට කොහෙන්ද ඒ පොත ? ඔයා කවදාවත් පොත් කියවන කෙනෙක් නෙවෙයි නේ...

💙 අන්තිම පාරට අන්තිම කවියත් කියන්නම් මම. මේ කවියට නමක් නම් නෑ. වෙල්වට් ප්‍රේමය කවි පොතේ...
නමුත් අංකයක් තියෙනවා

---------------------------------------------------------------
37.

සිප ගැනීම් දාහකට ගේන්න බැරි සතුටක්
ඒ එක බැල්මකින් ඔබට ලැබෙනවා.
ඒ නිසා දැනෙන කෙනෙක් ලැබුණත්,
නොලැබෙන බව දන්නවනම් " ආදරෙයි " කියන්න එපා.

ඒ වචනෙ සාපයක් !
ආදරෙයි.
---------------------------------------------------------------
ඔමී... එයා මට එයාගේ පණටත් වඩා ආදරේයි. මම තාමත්, හැමදාමත් එහෙමයි.

Forget me not පොතේ කියනවා වගේ. "පස්වෙනි ඍතුවට නමක් නෑ අනේ. ඒකෙ තියෙන්නෙ අපිට අමතක වුණු දේවල්, අමතක වුණු මතක හැම එකක්ම, ඔයාගෙ පෙම්වතාගේ සුවඳත් එහෙ ඇති."

ඔව් !!!! ඒ පස්වෙනී සෘතුවේ දී එයාව, එයාගේ මතකය, එයාගේ සුවද, ඒයා ආස කරපු සුවද විලවුන් බෝතයේ ඉදං මම හැංගුවා ඔමී...

තාමත් ඔයාට තේරෙන්නේ නෑ නේද. ඉන්න කියන්නම්. මම එයාගෙන් ඈත් වුණේ කැමත්තකින් නෙවෙයි. ඒ මගේ ජිවිතේ මම ආදරේ කරන හුගාක් මිනිස්සු හරි ඉක්මනට ඈතට යනවා. ඉතිං දැන් මම හරි බයයි කෙනෙක්ට ලං වෙන්න. මගේම කියලා කෙනෙක් ලං කරගන්න. ඒ මගේ දෛවය වෙන්න ඇති. තමාත් හිතාගන්න බැරි ඒ මගේ ලැබිමටද නොලැබිමටද කියලා. මම ලං වෙන හැම කෙනාම ඉක්මනින් මේ ලොකෙන් යනවා. නැත්තම් මගේ අවාසනාවන්තකමට ඒයාලාට බාධක, දුක් කරදර, වේදනාවන්, ප්‍රශ්න එනවා. ඉතිං මට ඒයාගේ සතුට විතරයි වැදගත්, ඒකයි මම එයා දිනලා මාව ඇවිත් එක්කං යනකං පැත්තකට වෙලා බලාං ඉන්නේ. එයාව අමතක කලේ නෑ. මගේ අවාසනාවන්තකම එයාව පරාජිතයෙක් කරයි කියලා ඈත් වුණා මිසක්.

මම 10 ක් කලොත් එකෙන් 9 ක් එයා අකමැති දේවල්. ඉතිං පිඩනයකින් ඉන්න පිරිමියෙක් ව මම ලග ඉදන් තවත් පිඩනයකට පත් කරනවාට වඩා, දුර ඉදන් සුබ පතන්න තිරණය කලා. එක දරාගන්න අමාරුයි තමයි. එත් මොනවා කරන්න ද මම...

දවස මට මැරිගෙන ආදරේ කරන ඒ පිරිමී ආත්මය, මගේ අත් තදින් අල්ලලා, මම ඔයාව දාලා කවදාවත් යන්නේ නෑ කියලා කිව්වෝත්. මම ඒ අසරණ කමටම මැරිලා වැටෙයි ඔමී... දැන් මිනිස්සුට ඉන්න කියන්නත් බයයි, යන්න කියන්නත් බයයි...

දවසක ඒ කෙස් ගස් නැති අමුතු දහඩිය සුවදක් අයිති, දරදඩු, ආඩම්බරකාර පිරිමියාගේ පපුව උඩ මේ හුස්ම අත් හරින්න තිබ්බොත් මට ඇති ඔමී... මම එයාට ගොඩාක් ආදරෙයි. මට බය මගේ අවාසනාවන්තකම එයාට බලපෑමක් කරයි කියලා. මේ කිසිම දෙයක් එයාට කියන්න ඒපා. එයා මං ගැන වැරදියට හිතාගෙන වැඩ වලට අවදානය යොමු කරලා මේ ජිවිතේ දිනින්න ඔනේ. එයා ගොඩාක් දුක් වින්දා ඔමී... මගේ පණ කොහෙ හිටියත් සතුටින් සැනසීමෙන් ඉන්න ඔනේ. මං එයාට තවමත් ගොඩාක් ආදරේයි ළමයෝ..... හා මේ ඔයාට පුලුවන් නම් "වෙල්වට් ප්‍රේමය කවි පොත" කියවන්න ඒක ලියලා තියෙන්නේ අභිශේකා විමලවීර. හැබැයි අඩන්නේ නැතිව කියවන්න ඔමී....

ඔමී...... ඔමී..... ඔමී......

❤❤❤ එයාට කියන්න එපා කිව්වාට, එයා මේ හැම දෙයක්ම අහං හිටියේ කියලා මම කොහොමද කියන්නේ. අන්තිමේට මට කියන්න තියෙන්නේ වෙල්වට් ප්‍රේමය කවි පොතේ
7 වෙනී කවිය

---------------------------------------------------------------
7. නිස්සාර
ආදරය කියන්නේ, පපුව හීරෙන එක.
ඒ මැද්දෙන් හිනා වෙන එක.
---------------------------------------------------------------
පරිස්සමෙන්.....

✒️ මම ඔමී