Pages

Search This Blog

Wednesday, 11 September 2024

" වනචරයෙක් වගේ මගේ තොල් ඉඹින්න නෙවෙයි... ආදරවන්තයෙක් වගේ මගේ නළල ඉඹින්න... "

 

" වනචරයෙක් වගේ මගේ තොල් ඉඹින්න නෙවෙයි... ආදරවන්තයෙක් වගේ මගේ නළල ඉඹින්න... "

🖤🩶🤍   🖤🩶🤍   🖤🩶🤍   🖤🩶🤍


මන්දෝදරී ( පළමු කොටස ) 


මම පොත් වලට ගොඩාක් කැමති ඒවා මං ජිවත් වෙන අනාරක්ෂිත පරිසරයෙන් පුංචිම පුංචි හරි මොහොතකට මාව වියුක්ත කරන නිසායි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන මාතෘකාව අස්සේ හැමදාම තැලිලා පොඩි වෙන අපි වගේ මිනිස්සුට පොත් කියන්නේ ම නිර්වාණ සුවය ළගා කරන මාවතක් නිසායි.


📸 එකේ සටහන එක්ක තියෙන්නේ කරවිල මලක්. ඔව් පණිවිඩයක් ඔයාලාට  ගම්‍ය කරන්න හිතාගෙනයි මම ඒ මල ගත්තේ. කරවිල කියන්නේ සමහරු කැමති තවත් අය අකමැති කෑමක්. රුචී අරුචීභාවය තිරණය වන්නේ තමා මත මිසක අනෙකාගේ ආකල්ප මත නෙවෙයි. ඒ නිසායි සටහනට ගැලපෙනම මල විදිහට කරවිල මල ගත්තේ. 


මොහාන් රාජ් මඩවල මන්දෝදරී කෘතියේ දෙවන කොටසේ පිටු 14 ක් සමරිසි ප්‍රේමයට, සමරිසි සම්බන්ධතාවයකට වෙන් කරනවා. මට ඇත්තටම ඒ පිටු 14 ක් නෙවෙයි, ඒ සමරිසි අයගේ අළු ජිවිත ඇතුළේ තෙරපෙන පීඩිත හැඟිම් දහහතරදාසක් ( 14,000 ) කියලායි දැනෙන්නේ. සමරිසි සම්බන්ධතාවයක දී සමාජයට අසංවේදී කරුණු කාරණා කිහිපයක් මුළු මහත් සමාජයකට, පොතේ කතෘ විසින් යටිපෙල අර්ථයෙන් නිරුවත් කරනවා. සමරිසි ජිවිතය කියන්නේ සමාජය බලන කෝණයෙන් සරල, සුරම්‍ය, සුකුමාල, කෙළිලොල්, රාගය, ලිංගිකත්වය සහිත ජිවිතයක් නෙවෙයි. ඒක මහාම මහා අපායක් කියලා සමහර අවස්ථාවලදී අපිට නොදැනෙනවා ම නෙවෙයි. එහෙම අපිට අපායක් කියලා දැනෙන්නේ, සමාජයේ අසංවේදීම මිනිසුන්ගෙන් එකවරම අපි වෙත එන අහේතුක ප්‍රතිවිරෝධය නිසාමයි. 


🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼


" පිරිමියෙක්ට ඕන ගෑනියෙක් මිසක් තවත් පිරිමියෙක් නෙවෙයි " 

(පිටුව 51)


මේ තමයි ස්ත්‍රි පුරුෂ ශ්‍රි ලාංකීක සමාජවාදී දෘෂ්ටි කෝණයේ සංධිස්ථානය. අධි සංස්කෘතිකවාදී රටක මෙහෙම වචන නොආවොත් තමයි ගැටලුව. පිරිමියෙක් ගෑනියෙක් සමග විවාහ විමත් පිරිමියෙක් පිරිමියෙක් ( ගෑනියෙක් ගෑනියක් සමගත් ) සමග විවාහ විමත් කියන කාරණා දෙක  ඛණ්ඩනය කරන රේඛාව වෙන්නේ දරුවන් යන ප්‍රස්තුතය නෙවෙයි ද. ඇත්තටම විවාහ ජිවිතේ දරුවන් හැරෙන්න වෙන දේවල් ගැබ්බර වෙලාම නැද්ද ? විවාහය තුල තියෙන්නේ ම ශාරීරික ගණුදෙනුවක් විතරමද ?


-------------------------------------------------------------------


" ඒ සමඟ ඔහුගේ ඇඟිලි තුඩුවලට දැනුණ කෝපි මණ්ඩි සමඟ මුහු වුණු අර්ජුනගේ තෙත ඛේට ස්‍රාවය ඔහුගේ හදවත ගිනිබත් කලේය. මොහොතකට තමා දවා අළු වු බව ඔහුට දැනිණ. "

(පිටුව 49)


ඇත්තටම සමරිසි සම්බන්ධතාවයක දී මෙවැනි සංසිද්ධි සිදුවීම බහුලයි. මන්ද ඊළග මොහොත ඔහුන් ට බොහෝ විට අවිනිශ්චිත වන බැවින්. බිය සමග මුසු වු ශෘංගාරය එක්ක දෙතොල් සිප ගැනීම කියන්නේම විස්තර කල නොහැකි හැඟිම් සමුදායක්. එතැනදී ශාරීරික ගණුදෙනුවෙන් විකේන්ද්‍රීය වී මනස හා අධ්‍යාත්මය සමඟ ගැඹුරු බන්ධනයක් සරා සංඛ කල්ප ලක්ෂයක් සඳහා ගොඩ නගා ගන්නවා. මේ මොහොත තවත් දිර්ඝ වෙන්නට ඒ පපු කුහර එකීය ප්‍රාර්ථනාවන් පුරනවා, එසෙත් නැති නම් කාලයට නතර වෙන්න යැයි අණ කරනවා. ඒ හැඟීම ඇත්තෙන්ම සතුට හා දුක යන වේදනාවේ විළිරුදාවෙන් පිරුණු හැගීමක්. අතීතතයේ දී සිමිත වාර ගණනක එලෙස තෙත් වු මගේ දෙතොල්, අදටත් ඒ දිනයන් හී තනිකම මකා දමන්න අවසර දෙන්නැයි සොබාව දහම ට ආයාචනා කරනවා.


*******************************************


" ඔයා, ඔයා කැමති විදිහට ඈන් එක්ක ඔයාගෙ රිලේෂන්ෂිප් එක තියා ගන්නව... මං, මං කැමති විදිහට අර්ජුන එක්ක රිලේෂන්ෂිප් එක තියා ගන්නව... අපි එකට නිදාගන්න ඕන නෑ. ඒත් අපි එක ගෙදර ඉන්නව. එච්චරයි....." 

(පිටුව 53)


ඇත්තටම සමරිසි සම්බන්ධතාවයකත් ශාරීරික ගණුදෙනුවකට මානසික කැමැත්ත අත්‍යවශ්‍යයි. බාහිරව මිනිස්සු කෙසේ කොහොම වුණත් අභ්‍යන්තරිකව මිනිස්සු කැමති තමන් තමන් ම වෙන්නයි. එහෙම නොවුණාම ඒ මිනිස්සු පිඩනයෙන් පුපුරලා යනවා. අන්තිමේට සතුටින් හිනා වුණ දවසක් මතක නැති ගාණට ජිවත් වෙන්න පටන් ගන්නවා. තමන්ට කිසිදු හානියක් නොදෙන තමන් අකමැති පාටක ඇදුමක් දිනක් ඇන්දාම දැනෙන හැඟීම ම අපිට අපි අකමැති මනුස්සයෙක් එක්ක මුළු ජිවිත කාලයක් පුරාවටම එකම ඇඳක තමන්ගේ එහා පැත්තේ නිදා ගන්න වෙද්දී කොහොම දැනෙවීද ?  

✒️ ඔම් ©️