Pages

Search This Blog

Wednesday, 22 May 2024

කිසියම් අයෙක් තමන්ගේ අම්මාට අම්මා කියන්නේ හදවතින් බව සිහි තබා ගන්න.


කාල බේදය අනුව ගත් කළ මට අම්මාවරු තිදෙනෙක්ද ? සත් පත්තිනී න්‍යායට අනුව මා හට අම්මාවරු සත්දෙනෙක් සිටීයහ...

බෞද්ධ සංස්කෘතිකට අනුව මම ද අම්මා ගැන ලියන්න කලින් අම්මාට වදින ගාථාව කියා මම මගේ සියලුම අම්මාවරුන්ගෙන් අවසර පතමී...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දසමාසේ උරේ කත්වා,
පෝසේසි වුද්ධිකාරණං...
ආයූදිඝං වස්සසතං,
මාතුපාදං නමාමහං...

ඇත්තටම මට අම්මා කියන චරිතය වැළලී ගිය අතීත කතාවක් වන අතර මෑත දිනක, මගේ සමීපතමයෙකු සමඟ ඇති වු ආරවුලක් හේතුවෙන්, නැවතත් ඒ ශේෂ වු නටඹුන් ගොඩ ගැනිමට සිදු විය. නමුත් ඒ සිදු වීමේ දී මා වරදකරුවෙක් නොවන අතර, මගේ නිර්දෝශිභාවය ඔප්පු කිරිමට ද, මට සාක්ෂී සාධක නොමැති බැවින් මීට පෙර සිදුවන ලෙසට ම, මම ඔහුට ජයග්‍රාහණයේ ආශ්වාදය ලබා දෙමින් මා සුපුරුදු පරාජිතයෙක් වුවෙමී. නමුත් මමත් මගේ හෘද සාක්ෂියත් මා නිවැරදී බව දන්නේය. නමුත් ඔහු සිදු කල ඒ සිදුවීම නිසා අදටත් මා හදවත තුල වේදනාවේ ගිනි දැල් බුරා බුරා නැගෙන්නේය. ඒ සඳහා ඔහුට කිසිම දිනක සමාවක්ද මා නොදෙනු ඇත.

සිදු වු සියලු දේවල් ආපසු ගත නොහැක. වේදනාව පෙර පරිදි ම හිත තුළ සඟවගෙන, සුපුරුදු ව්‍යාජ සිනාව මුහුණේ තවරමින් දෛනික ජිවිතයට මා අවතීර්ණ විය.
🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼


"ඔමී... මැයි 10 Mothers Day ! අම්මාට දෙන්න හොඳ තැග්ගක් කියන්න"
( Date - 2024 - 04 - 20 ) යනුවෙන්
-----------------------------------------------------------

කෙටි පණිවිඩයක් ආවේ මගේ අතිජාත පැරණී පාසල් මිතුරෙකුගෙන් ය.

" අම්මා නිදන සොහොන අද්දර
පිපෙන බාලෝලී තමයි ලස්සන "
කියලා දිනක් කවී පොතක දුටු කවිය,
මට එකවරම සිහියට නැගීය.

" මල් තමයි හොදම 🌸 "
කියලා පිලිතුරු කෙටි පණිවිඩයක් යැව්වේ ප්‍රශ්ණාර්ථ ලකුණක් මුණ තුළ තැන්පත් කරගනිමී.

********************************************

සියල්ල සිදුව අවසන්ය. ඉතිහාසඥ ඊ.එච්. කාර් මහතා පවසන අන්දමට "අතීතය යනු වර්තමානය තේරුම් ගැනිමේ යතුරයි."

මම සුපුරුදු ජිවිතයට අවතීර්ණ වී  කාලය ගෙවමින් සිටියේ මී. ඇත්තෙන්ම මගේ ගෙදර අමනුස්ස දෝෂයක් ඇති බව මා විශ්වාස කරන්නේය. ඒයට හේතුව මගේ මුහුණේ ගැබ් ගෙන තිබු ප්‍රශ්නාර්ථය ගබ්සා කිරිමට අවශ්‍ය ඖෂධය ඇති පොත, මගේ පොත් රාක්කයෙන් එකවරම බිමට වැටී ඇති බව දුටු විටයි.
කාලයකට කලින් හරියටම 2023 - 11 - 16 වන දින බොරැල්ල ඇම්.ඩී ගුණසේන පොත කඩෙන් මා මිලට ගත් උපුල් ශාන්ත සන්නස්ගල සර් විසින් රචිත "අම්මා" නම් ඒ කෘතියයි.

මව් කිරි වර්ණයට හුරු වර්ණයක් සහිත පිටකවරයෙන් යුක්ත පිටු 422 සහිත පොතකී අම්මා පොත.

පොතේ දකුණු පිටකවරේ...

" අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන. එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න. මං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විඳින්න.

ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ! "

මෙහෙම අප්‍රප්භාංශ සටහනක් ලියලා තිබුණා. නමුත් මම රුපියල් 1600/- ක පොතක් පැත්තකට දාන්න තිබ්බ ලෝබකමටම, හවස උණුම උණු කෝපී එකක් හදාගෙන ඇදට ඇවිත් " අම්මා පොත " කියවන්න පටන් ගත්තා. අද මේක කියවලා අවසන් කරන්න කියලා හිතාගෙන පොත අතට ගත්තාට පරිච්ඡේද 24 කියවන්න මට හරියටම දින 24 ගියා.

මට නම් අම්මා පොතේ එක පරිච්ඡේදයක් කියන්නේ දශකයක් වගේ දීර්ඝ කාලගත පරිච්ඡේදයක්. ඒ තරම් සියුම්ව, හැගීම් අකුරු අතර ගෙත්තම් කරලා තිබුණා. මට කොච්චර දැණුනාද කිව්වෝතින් පොතේ තියෙන අකුරුවල හැඩය මගේ රළු ඇගිලිවලට දැණුනා. හරියටම ඇස් නොපෙනෙන කෙනෙක් පොතක් කියවන විදිහට. වචන වලින් සුවඳ හමන්න ගත්තා. වෙලාවකට මට හිතුණා මේවා මගේ මනෝ විකාර කියලා, තවත් වේලාවක මට හිතුණා මේවා ඇත්ත. ඔව් ! මේ තමයි යාථාර්තය කියලා. මම ඇත්ත හා බොරුව අතර දෝලනය වෙන්න ගත්තා.

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

පළමු පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 22

" ආදරය දැනෙන්නේ අහිමි වූ පසුවය. ජීවී අජීවී ඕනෑ ම ආදර වස්තුවක් තමා සන්තකයේ පවතින තාක් කල් අපට එහි විසල් වටිනාකමක් දැනෙන්නේ නැත. ආදර වස්තුවක වියෝගය නිසා පෙර නො වූ විරූ වටිනාකමක් අප තුළ මතුව එන්නේය. ජීවත් වූ මගේ අම්මාට වඩා මිය ගිය මගේ අම්මා මා තුළ විශාල ව වැඩෙමින් වැඩ හිඳිමින් සිටින්නී ය. අහිමි ආදර වස්තුවක් විශාලව දැනෙන මොහොතේ ඒ ගැන ලිවිය යුතු ය. මම මගේ අම්මා ගැන ලියමි. "

ඔව් !!! ඒ කියමන සත්‍යයකි. ගොඩාක් දේවල් අපිට දැනෙන්නේ. එය අපෙන් අහිමී වු ඊළග තත්පරයේ දී පටන් ය. ආදරයද, ප්‍රේමයද ඒ කුලකයට අයත් වෙයි. අම්මා ඒ අතර ප්‍රමුඛත්වය ලබා ගනී. අම්මාගේ වියෝවේදී හඬන හා නොහඬන බොහෝ දරුවන්ගේ හිත් තුළ ඇති වේදනාවේ උණුහුම, සප්ත මහා සාගරය එක් නිමේෂයකින් වාශ්ප කල හැකි තරමට බලවත් ය උණුසුම් ය. නමුදු මේ කෘතිය කියවිය යුත්තේ අම්මා අහිමී වුවන් නොව. අම්මා මේ මොහොතේදී ජිවත් වෙන උන්‍ ය. ඇයිද යත් අම්මා අහිමි අප වැනි වුන්ට නැවතත් අතීතයට යාමට නොහැක. මේ පොත කියවා තව තවත් අභ්‍යාන්තරිකව ඇඩිමට, කදුළු හෙලීම හැර වෙනත් කිසිදු විකල්ප අවස්ථාවක් ද නැත. නමුත් අම්මා සිටින උන්ට මේ පොත තවත් අවස්ථාවක් උදා කර දෙන අපුරු හැරවුම් ලක්ෂයකී. වැරදී නිවැරදී කිරිමේ නිතිපතිවරයෙකී. සුර්‍යාග්‍රාහණයෙන් පසුව එන සුර්‍යා වැනීය.
❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤

පළමු පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 22

" මං තෙමෙන්නං. උඹ තෙමෙන්ට එපා. මං තෙමිලා තෙතබරියං වෙලා නැහිද්දෙං. උඹ සනීපෙට හිටපං. "

අම්මාලා කියන්නේ දුක් විදින අයට නෙවෙයි. අම්මලා කියන්නේ දුක රසවිඳින අයට කියලා දවසක් මගේ ගුරුවරයෙක් මට කීවා මතකයි. ඔව් මගේ අම්මා විතරක් නෙවෙයි. අපි හැමෝගෙම අම්මලා එහෙමයි. දහඩිය පෙරාගෙන උදේම නැගිටගෙන උයන අම්මාගේ ඉදන් කාර්‍යබහුල ජිවිතය නිසා සේවිකාවකට වැටුප් ගෙවමින් දරුවන් වෙනුවෙන් දිවා රෑ කැපවෙන අම්මාද අම්මාම වෙයි. හැම අම්මෙක්ගෙම ප්‍රාර්ථනාව දරුවන්ගේ නිරෝගී සෞඛ්‍ය හා සාර්ථක ජිවිතයයි.
❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤

සත්වන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 130

" මගේ රත්තරං පුතේ, දැන් ද මගේ අප්පා නැඟිට්ටෙ. මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති, මටත් කෑල්ලක් තියලා කාපං මගේ අම්මා. "

අටවන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 141

" උඹට මදි නං තව ඩිංගක් කාපං මගේ පුතේ, මට තියෙනවා "

දුප්පත්කම අපව කොතරම් දුරට ගොදුරු කරගත්තාද කියලා, මට දැනෙන්න ගත්තේ මමත් රස්සාවක් කරලා වියදම් කරන්න ගත්ත දවස්වලයි. නමුත් අම්මා හැමදාම අපිට බත් ඉව්වාය. තුන් වේලෙන් වේල් දෙකක් හෝ අනිවාර්යයෙන්ම දුන්නාය. වචන මිනිස්සුන්ව පුච්චනවා කියලා අහලා තිබුණාට දැකලා තිබුණේ නෑ. නමුත් අම්මා පොතේ තිබිලා ඒ වචන වලට මගේ අතත් එක්කම පපුව පිච්චිලා ගියා. එකවරම වැහි ළිහිණියන් රෑනක් මගේ හිසට උඩින් පියඹා ගියේ, මම ගංඟ ඇල ඉවුරු පිරිලා ඉතිරෙන්න අඩන්න යන වග දැනගෙන දෝ කියලා හිතුණා. එකපාරටම මට පරිච්ඡේදය 07 කට මෙච්චර රිදෙනවා නම් තවත් පරිච්ඡේදය 17 කියවන්නේ කොහොමද දෙයියනේ... කියලා හිතුණ වාර ගාණන අනන්තයි.

❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤


දහ තුන්වන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 227

" යමල්ලා "
දොළොස් වන පරිච්ඡේදයේ අවසානයත්, දහතුන්වන පරිච්ඡේදයේ ආරම්භයත්, දරුවෙකුටගේ හිත රිද්දන්න පුලුවන් උපරිමයට ම රිද්දලා. තිස්තුන් කෝටියක් දෙවීවරුන්ට එකවරම නිවන් දකින්න පිං අනුමෝදම් වෙන්න වචන ගර්භාෂ ගත කර තිබු පරිච්ඡේද 02 කී. 13 වෙනී අංකය කියන්නේම අසුබ යැයි සිතන සමාජ සංස්කෘතික රාමුවක ජිවත්වන මට, 13 වන පරිච්ඡේදය අතහැර එකවර 14 ට යමු යැයි නොසිතුණා කිවහොත් ඒය බොරුවකී. 12 වෙනී පරිච්ඡේදයේ අග කියවන විට ඇස්වල ඇති කදුළු නිසා බොඳවුණ අකුරු කියවන මම, දැනන් හිටියේ ලොකු හුස්මක් හෙලා ශබ්ද නගා ඇඩිය යුතුම මොහොතක් ඊලගට උදාවෙන්නේ කියායි. නමුත්....

" යමල්ලා " කියලා අම්මා කියද්දී ලේ, වතුර වෙච්ච ඇඟේ නැවතත් ලේ ටිකක් ඉණුවේ. මගේ හිතේ තිබුණ වේදනාව දස ගුණයකින් වැඩි කරමින්‍ ය.

හැම රෝහල් මෝචේරියක් ඉස්සරාම සෑම දරුවෙක්ම ප්‍රාර්ථනා පුරන්නේ

අම්මා ආයේ නැගිටිවී නේද ?
ඒ මගේ අම්මා නෙවෙයි නේද යන්නයි...
🥺🖤🌸 🥺🖤🌸 🥺🖤🌸 🥺🖤🌸 🥺🖤🌸

මමත් ඒ අසීරූ අවස්ථාවේදී
අහසේ ඉන්න දෙවියන්ගෙන්,
පොළවේ ඉන්න දෙවියන්ගෙන්,
දන්න නොදන්න දෙවියන්ගෙන් ඉල්ලුවෙත් ඒ ප්‍රාර්ථනා දෙකම විතරයි.

" යමල්ලා " අම්මා පොතේදී දැනුනේ වෙනස්ම විදිහට. ඒ වචනය මට කොපමණ වේදනාවක් ගෙනත් දුන්නාද කිව්වොත්. උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මාට දුන්න අවස්ථාව ඇයි මගේ අම්මාට නොදුන්නේ කියලා දෙවියන්ට බැනලා, පොත ඇඳ යටට විසි කරලා වරුවක් විතර අඩන්න ධෛර්යය දුන්නා.

ඇයි ???
ඇයි ???
ඇයි ???
මට ඒ අවස්ථාව දෙවියන් නොදුන්නේ කියලා....

තවත් පරිච්ඡේද 02 ක් ගැන පමණක් සදහන් කර නතර වෙන්නම්. හැගිම් අකුරු කරන එක තරම් වේදනාකාරි හැඟිමක් මේ ලෝකේ නැතිව ඇති. තමන්ගේ දුක කියන්න කෙනෙක් නැති වුණාම, මිනිස්සු හැඟිම් අකුරු කරලා අවකාශයට මුදා හැරිය යුතු යි. ඒ අඩුම තරමේ තමන්ගේ දුක නිවෙන්නවත්...

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤


විසි තුන්වන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 389

🌸 " මං ලොකු එකාට උගස් කරපු කරාබු දෙක උඹ අරන් දෙයි කියලා හිතාන ඉන්නවා.

🌸 උඹ පොඩි කාලේ කියනවා මට අගස්ති මාලයක් අරං දෙනවා කියලා,

🌸 උඹ මාව දඹදිව යවනවා කියලා කිව්ව නේද?

🌸 මගේ වම් අත වෙවුලනවා. කොළඹ ගිහිල්ලා. හොඳ දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ඩිංගක් ගන්න ඕන.'

🌸 ඇහේ කබ එන්නේ රත්තයාට. කොළඹින් බෙහෙත් ඩිංගක් ගන්න ඔන.

🌸 මං මැරෙන්නෙ කවදාක හරි උඹේ ළඟ. උඹේ ගෙදර. මාව කොළඹ එක්ක පලයං මයෙ පුතේ. "

සමහර විට මගේ අම්මා හා මේක කියවන ඔයාගේ අම්මා, මේ වගේ හෝ මීට හාත්පසින්ම වෙනස් ඉල්ලීම් ඔබෙන් මගෙන් කරන්න ඇති. සමහර විට අපි සිල්ලර හීන හෝ යාථාර්තවාදී නොවන හීන කියලා හිතන්න ඇති අම්මාට කියන්න ඇති.

නමුත් ඒ හීන මගහැරුණ හීන වෙනවා අම්මා අපිට නැති වුණ දවසට. මටත් මතකයි මගේ අම්මා කියනවා මගේ ඉස්ස ඉස්සෙල්ලා පඩියෙන් මොන දේ කරන්නත් කලින් එයාට ඇදුමක් අරන් ඔනේ කියලා.

මං ඇහුවා ඒ ඇයි ? කියලා...

" හැමෝට පෙන්න අදින්න ඔනේ. හැමෝටම කියන්න ඔනේ මගේ කොල්ලාගේ ඉස්සෙල්ලා පඩියෙන් මට අරන් දුන්නා කියලා " එයාගේ උත්තරය වුණා.

ඔව් මං රස්සාවකට ගිහිං පඩියක් ගත්තා ලස්සන ඇදුමකුත් ගත්තා නමුත් අම්මා ගොඩාක් දුර ගිහිං එතකොටත්. අදටත් ඒ‍යාගේ නමින් ගොඩාක් දේවල් කලත්, ඒයාගේ ඒ හීනය මට සෑබැ කරන්න බැරි සෑබැ කරගන්න බැරි මගහැරුණූ ම හීනයක්. අදටත් ඒ මගහැරුණු ම හීනය මට අලුත් ඇදුමක් ගනිද්දී රිද්දනවා.

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤


සතර වන පරිච්ඡේදය - අම්මා කෘතිය
පිටුව 75

" මගේ අම්මා ඇත් රැජිනක් වෙයං...
අම්මා උඹ මහා මායා වෙයං...
යසෝදරා වෙයං....
මගේ රත්තරං අම්මා
සම්මා සම්බුදු වෙයං... "

අවසානයේ අපි හැමගේ ප්‍රාර්ථනාව අම්මා සම්මා සම් බුදු විය යුතු බවයි. නමුත් අම්මා... නිවන් දැකීමට මොහොතකට කලින් හෝ අපව මතක් වුවහොත් ආපසු හැරි එන චරිතයකී. ඒ නිසාම අම්මාට දෙන්න පුලුවන් හැම මොහොතක්ම අම්මාට දෙන්න.

🌼 අම්මාට කතා කරන්න පුලුවන් හැම වෙලාවකම කතා කරන්න.

🌼 අම්මා ගැන හොයලා බලන්න පුලුවන් හැම මොහොතකම හොයලා බලන්න.

🌼 කවමදාකවත් අම්මාගේ Call එක කට් කරන්න එපා. මහා රජුන් ළග සිටියත් " ඇයි අම්මේ හදිසියක්ද කියලා අහලා බලලා කෝල් එක කට් කරන්න " සමහර විට අපි Cut කරන Call එක එයාගෙන් එන අන්තිම කෝල් එක වෙන්න පුලුවන්.

🌼 නිවාඩු දවසක අම්මාගේ කකුල්, කකුලේ යටිපතුල් තෙල් බෙහෙත් ටිකක් ගහලා අතගහන්න. මහන්සීද අම්මේ අම්මාට ? කියලා අහන්න.

මැරෙන්න තරම් මහන්සියක් තිබුණාත් අම්මා දෙන උත්තරය " නෑ මගේ රත්තරං පුතේ " කියලායි.

ලෝකයාට ත්‍රස්තවාදීයෙක් වුණත් අම්මලාට තමන්ගේ දරුවා විරයෙක් අම්මලා එහෙමයි.

---------------------------------------------------------------------

අනික් කාරණය මිනිස්සු තමන්ට තියෙන දේවල් ගැන ආඩම්බර වුණාට උද්දච්ච වුණාට කමක් නෑ. ලෞකීක හා භෞතික වස්තුවල, ඇති නැති පරතරය තව කෙනෙකුට පෙන්නුවාට ගෙනහැර පෑවාට කමක් නෑ.

නමුත් කවමදාකවත් අම්මෙක් නැති කෙනෙක් ඉස්සරහා අම්මෙක්ගේ වටිනාකම නොකියන්න. සමහර වෙලාවට ඒයා අම්මා කියන්නේ කවුද ?
ඒයාගේ වටිනාකම මොකක්ද කියලාවත් දන්නේ නැතිවෙන්න පුලුවන්.

ඒ වටිනාකමක දැන ගන්නේ තව කෙනෙක් ලියපු පොතකින් කවියකින් වෙන්න පුලුවන්.

කිසියම් අයෙක් තමන්ගේ අම්මාට අම්මා කියන්නේ හදවතින් බව සිහි තබා ගන්න. 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

අවසානය උපුල් ශාන්ත සන්නස්ගල සර්ට ගෞරවය ලෙස ඔහු ඔහුගේ අම්මාගේ අවමංගලය උත්සවයේ දී සිදු කල කතාව සමග අවසන් කරමී...

මගේ අම්මගේ අවමංගල්‍යාත්සවයට පැමිණි සියලු දෙනාගෙන් ම අවසරයි. ලියෝ ටොල්ස්ටෝයි කියන ලේඛකයාගේ බිරිඳ තමන්ගේ ජීවන පුරාවෘත්තය ලියලා තියෙනවා මහා පුරුෂයෙකුට බිරිඳක් ව කියන පොතේ. ඒ අම්මාටත් දරුවො ගොඩක් හිටියා. අපේ අම්මටත් දරුවො එකොළොස් දෙනයි. ජීවතුන් අතර ඉන්නවා දහ දෙනෙක්. එක් කෙනෙක් පොඩි කාලේ මැරිලා.

අපේ අම්මා මේ දරුවො දහය හදන්න දස මාස ගානේ අවුරුදු දහයක් ගැබ්බර වෙලා හිටියා. දරුවන් වෙනුවෙන් ජිවිත කාලෙම දුක් වින්දා අම්මා කියන්නේ උපන් දා ඉඳලා මැරෙන කල් ම දුක් වින්ද ගැහැනියක්.

මගේ අම්මා අපි වෙනුවෙන් කරපු දේවල් අපිට මේ ජීවිත කාලෙ වන්දියක් විදිහට ගෙවලා ඉවර කරන්න බෑ. අපේ ගෙදර බඩ පිස්සා මම, මං පොඩි කාලේ අබ්බගාතයා. මෙතන ඉන්න ගොඩක් අය වාසනාවන්තයි කියල හිතන අපේ පවුලේ අවාසනාවන්තයා මම.

මගේ හදවත නිකම් ම මස් වැදැල්ලක් නො වී හිතන්න මට සිද්ධ වෙලා තියෙනවා. ඒ උරුමයත් අම්මගෙන් ම ලැබුණු එකක්. අම්මා ගැන හිතලා හිතලා ම තමයි. මගේ පපුව ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවා නම් මං කැමතියි ලබන ආත්මේ ගැහැනියක් වෙලා උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන.

එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න. මං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විඳින්න. ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා අපි දෙන්නම ආයෙන් උපදිමු රත්තරං අම්මේ. මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න අම්මේ!'

✒️ ඔමී ©️


 

Friday, 3 May 2024

තහනම් බව දැන දැනත් තහනම් ගහේ ගෙඩි කන්න අපි ලෑස්ති වුණා...



ඔයා මං ලගට එන්නේ මට මාවම එපා වුණ මහාම මහා මුසල පරිච්ඡේදයක. මම කවුද කියලාවත් දන්නේ නැතිව හතර හතේ දුවද්දී ඔයා මගේ ලගට ආවා. ඔයා ආවා විතරක් නෙවෙයි මං ලඟ බලහත්කාරයෙන් නතර වුණා. 

කාලය...

ශීඝ්‍රගාමීයව ගෙවී ගියාද ? 

මන්දගාමීව ගෙවී ගියාද ?

කියලාවත් මට කාලයක් යන තෙක්ම වටහා ගැනීමට නොහැකි තත්ත්වයක ඉන්න වුණා. ඒ අමිහිරීම කාලච්ඡේදයේ දීත් ඔයා දුර ඉදිමින් මං දිහා බලාං උන්නා...


-------------------------------------------------------------------


හඳ දිහා බලාගෙන හීන මවන්න ඕන මම, දැවෙමින් ඉන්න හිරු දිහා බලමින් ප්‍රාර්ථනා කරපු දවස්මයි තිබුණේ, දින පොතේ පිටු පිරෙන්න. 


සමහර දවස් ඇත්තෙන්ම තිබුණා...


❤️🖤 මං නිවාඩු දවස්වල නොදන්න ගම් පළාත් වලට බස් ටිකට් අරන් ජනෙල විදුරුවට හාන්සී වී ඔන්න ඔහේ ගමන් ගිය. 


❤️🖤 වරු ගණන් කකුල් වෙව්ලනකං හිත නිවෙන්න කියලා මුහුදු රළට ප්‍රේම කරපු.


ඒවායින් තව තවත් වුණේ රිදුණු තැලුණු තැන් තව තවත් පැරෙන එක මිසක්, පෑරුණු තැන් වලින් ලේ ගලන එක මිසක් වෙන කිසිවක් ම නෙවෙයි.


🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸


වහලට අමුණලා තියෙන උළු කැට වහලෙන් අයින් කලා නම්, මටත් අහසටත් වැඩි දුරක් නෑ නේ. එහෙම නම් අතින් තරුවක් ඇදලා ගන්න තිබුණා කියලා හිතපු මම, අද කඩා වැටෙන තරුවක් දැකපු ගමන් ඉන්න තැන හිදමින් ඇස් දෙක තදින් වහගෙන ප්‍රාර්ථනා පුරන්නේ හැමදාම මම දැකපු ඒ හීනය හැබෑ වෙන්න කියලයි. 


නමුත් කාලය ද, සොභාව ධර්මය ද, දෙවියන් ද, මම ද,  ඔයා ද, කවුද කින්දමන්ද, කාටද, ඇයි, මොකටද, කියලා හිතන්නවත් බැරි අහිකුණ්ඩක මං අතට ඔයා ආවා ළමයෝ...


මට තවම මතකයි. 


"❤️ - මට කොච්චර ආදරෙයි ද ?

 කියලා ඇහුවාම."

ඔයා මට දුන්න උත්තරය...


ඔයා නිහඩව හිනා වුණා මිසක්. කවමදාකවත් මට උත්තර බැන්දේ නෑ…


මම හැමදාම ඒ නිහඩ බවට තදින් වෛර කලත්. අන්තිමේටම ඒ නිහඩ බවට, නිවුණ බවට, මං ආදරේ කරන්න පටන් ගත්තා. 


අන්තිමේට මම ඔයාව පේලියෙන් පේලිය කියවන්න ගත්තා. පිටුවෙන් පිටුව කාටවත් නොඇසෙන්න කළුවර කෑලී කපන්න පුලුවන් මහා රෑක, නා කපන වැහි දවස්වල කාටවත් නොඇසෙන්න ඒ පිටු පෙරලුවා. සමහර දවස් තිබුණා කාටත් හොරෙන් මම ඔයාව පපුවට තුරුල් කරන් නිදාගත්ත.


-------------------------------------------------------------------


අන්තිමේට මමත් නොදැන, මම ඔයාව කියවන්න පටන් අරන්. ඔයාට ආදරේ කරන්න පටන් අරන්. අපි දැන් පරිච්ඡේද කිහිපයක් පසු කරන ගමන් ඉන්නේ ළමයෝ. මම විශ්වාස කරනවා ඔයා මට නොලැබුණා නම් මම තවමත් ඒ වැටුණු තැන, නැවතුන තැන ඉදීවී කියලා. 


ඉතිං " ඔයා තමයි මට මේ ජිවිතේට ලැබුණ ලස්සනම තෑග්ග ❤️". 


ඔව්... මගේ ජිවිතේ අසම්මත ඒ අංශක 180° වේ හැරවුම් ලක්ෂය වෙන්න ඔයාට පුලුවන් වුණා. තහනම් බව දැන දැනත් තහනම් ගහේ ගෙඩි කන්න අපි ලෑස්ති වුණා...


ඇත්තෙන්ම මෙහෙම සටහනක් ලියන්න හේතුව. මට 2024 - 05 - 03 (අද) සිදු වු සිදුවිමක්. උදේ 4.33 ට වැඩට යන්න නැගිටපු මං, මුලින් කලේ ෆෝන් එක අතට අරන් මට ආපු CALL, MESSAGE බලපු එක. ඒ ටික බලපු මම කම්මැලිකමට WHATAPP STATUS  බැලුවා. යාලුවෙක් ඒයාලාගේ ප්‍රේමයේ දෙවැනි සංවත්සරයේ සුබ පැතුම දාලා තිබුණා. මතක සටහන් ගොන්නක විඩියෝ එකකුත් එක්ක. 

🥺😔🥹 🥺😔🥹 🥺😔🥹 🥺😔🥹 🥺😔🥹


ඉතිං ලස්සන මගේ හිතුවක්කාර මෝඩ ළමයෝ. අපිට කොහෙද ප්‍රේමය සමරන්න දවසක්. සමහර දේවල්වල තත්පර කටුවේ මිණුම එක්ක මතක තියාගෙන ඉන්න මට කොහොමද ඒක මතක නැත්තේ. 🥵


ඇත්තෙන්ම අතපසුවෙන්න මොකක්ද හේතුව කියලා, හිතන්න ගනිද්දි..... 

බය වැඩිකමට අඩන්න ගත්තා, ගත්තා නෙවෙයි ඇඩුණා. දිනපොත් කිහිපයක් පෙරලලා හෙව්වත් හොය ගන්න බැරි තරමට මං අසරණ වුණා. ඒක මොහොතක මගේ මුළු ලෝකයම නතර වෙන්න පටන් ගත්තා. ඔයාට කිව්වොත් බනින නිසාම මම තවත් බය වුණා. තවත් හයියෙන් අඩන්න ගත්තා. මුළු පොත් රාක්කයම බිමට පෙරලලා දැම්මා. අන්න ඒතකොටයි මං දැක්කේ 


🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤


" සම්බන්ධය තියෙන්නෙ අපි දෙන්නා අතර නම්. අපි දෙන්නට ඕන නැති කෙළවරක් අනික් මිනිස්සු හොයන්නෙ ඇයි ?

විවාහ වෙච්ච බිරිඳ එක්ක තියෙන සම්බන්ධය වලංගු වෙන්නෙයි,

අපි අතර තියෙන සම්බන්ධය අවලංගු වෙන්නෙයි එයා කොළේක අත්සන් කරපු නිසා ද? 

විවාහයේ දී අත්සන් කරලා ඔප්පු කරන්නෙ සදාකාලිකවම ආදරෙයි කියන එක ද? 

මේ ලෝකෙ ඕන දෙයක් වලංගු වෙන්නේ අත්සන් කළාම කොලේක ලිව්වම විතර ද? මිනිස්සුන්ගෙ හිත වැඩ කරන විදිහට, උන්ගේ හිත ඇතුළෙ තියෙන හැඟීම් වලට වටිනාකමක් නැද්ද? 

අපි අතර තියෙන සම්බන්ධෙ වලංගු නැත්තෙ ඒක කොලේක ලියලා ඔප්පු කරලා නැති නිසාද? 

එහෙම මිනිස් ගණුදෙනු හිත්වල තියෙන්න බැරි ද? 

සම්බන්ධයක් කොහේ හරි ස්ථානගත වෙන්නම ඕන ද? 

කෙළවරක් තියෙන්න ම ඕන ද? 

අපි දෙන්නා මැරුණහම ඒක කෙළවර වෙයි. ඔයා මුලින් මැරුණොත් මාත් ඒ එක්කම මැරෙයි. මැරුණෙ නැත්නම් මං මතකෙන් එක්ක ජීවත් වෙන්නනම්, 

මං මුලින් මැරුණොත් ඔයත් ඒ එක්කම මැරෙයි. මැරුණෙ නැත්නම් මතකෙත් එක්ක ජීවත් වෙන්න. 

ඉතිං එච්චරයි නේ. 

අපේ ආදරේට ඊට වඩා කෙළවරක් ඕන ද?"


ඉෂා සිරිනිවාසන්

කොළ පාට ඇස් කෘතිය 💚💚💚


මේ වචන ටික මාව සුවපත් කලා. ඇඬිල්ල නතර කලා. ලොකු හුස්මක් අරන් නිදහස් වෙන්න පුලුවන් වුණා. ඒ මේ පොත අපි දෙන්නාට ලැබුණ විදිහ නිසාම. මේ පොත කියවන්න අපි ගිවිසුම් ගත වුණ විදිහ නිසාම. 


❤️ "ඇයි... ලස්සන හිතුවක්කාර මෝඩ ලමයෝ මාව හොයාගෙන එන්න මෙච්චර කල් ගත්තේ.... ?"


මං කිහිප වතාවක්ම ඔයාගෙන් අහපු ප්‍රශ්නක් මේ.....


ඒ හැම වේලාවකම ඔයා.... 

🖤 " ලස්සන දේවල් හමුවෙන්නේ පමාවෙලා " 

කියලා මගේ තොල් තදින් සිපගත්තා...


මට ඔයා නැතිව පාළුයි ළමයෝ. 

ඒ වාගෙම මං ඔයාට ගොඩාක් ආදරෙයි. ඉක්මනින් එන්න...

වේලාවට කන්න බොන්න...

හවස් වෙලා නාන්න එපා...

පරිස්සමෙන් ඉන්න... 

මම ඔයාගේ 

ලස්සන,

හිතුවක්කාර, 

මෝඩ ළමයා.....


✒️ ඔමී ©️