අතීතයේ ජිවත් වෙන්නේ අනාගතයට බය මිනිස්සු. තමන්ට වටිනාකමක් නොදෙන්නේ ආත්ම ශක්තියක් නැති මිනිස්සු. එවැනි අවස්ථාවක තමන් ගාව රැදෙන්නේ ප්‍රේමණීයම මිනිස්සු. ඒබැවින් ඒම ප්‍රේමණීය මිනිස්සු වෙනුවෙන් ඔබගේ ජිවිතය අංශක 360° හැරවීමට බිය නොවන්න. ඉඩෝරයේ පතොක් මලක් නොවන්න තමන්ට ආදරේ කරන්න. අතීතය වල දමන්න. අනාගතය ගොඩ නගන්න. මම මට ආදරේයි 🌼🌸🥺
Friday, 5 July 2024
EX එක්ක සීතල රැයක්, උණුසුම් හාදුවක් හා වැළදගැනීම් සමඟින්
" රැවටීමෙහි උපරිමයටත්, පාවිච්චි වීමේ අධිකතමයටත් පත් වු පසු, අහම්බෙන් මෙන් දවසක මේ වෙන්වීම නියත බව හැගිණි. තවත් වචන නොමැති දිනයක නිහඬව නික්ම ආවෙමී. විශ්වසනීය සිහින වලින් පලවාහරිනු ලැබූ අවලංගු ගැහැනියක ලෙස හැඟීම ගිලිහිනු කලක මෙන් ඇවිද යද්දී වෙරළ හමු විය. බොහෝ වෙලාවක් එකක් යයි කිව නොහැකි සිතුවිලි අතර පැටලී සිටියදී ක්ෂණික ඉරක් සේ මනසෙහි යමක් ඇඳිනි. ආදරය නම් ඉර මුහුදේ ගිලෙන්නට මොහොතක් තිබියදී ලෝකයෙහි ළා අඳුර, ළා දිප්තියත් අතර පවතින මොහොතක ක්ෂණික ආලෝකය වැනිය "
පිටුව 08
ලිලැක් කෘතිය
සඳුනී 🌸 - " හ්ම් හ්ම් අපි චුට්ටක් කතා කරමුද ? මට ඔයාත් එක්ක අන්තිම පාරට කතා කරන්න ඔනේ හ්ම්. අනේ මට එකම එක අවස්ථාවක් දෙන්න විසල්. මේ පාරත් මට ඔයාව මගහැරුණොත් ආයේ අවුරුදු පහක් බලාං ඉන්න වෙනවා හ්ම් "
( Forward Msg ) 2024-05-31 16.05
මැසේජ් එක දැකපු මම. එහි නියම අයිතිකාර හදුනා ගත්තා. මැසේජ් එක කොහෙන්, කොහොම සඳුනීට ලැබුණාද කියලා දැන ගන්න. මම සඳුනිට කෝල් එකක් ගත්තා
🥺 මචං සඳු ...
උඹට කොහෙන්ද මේ මැසේජ් එක ?
කවුද උඹට ඒක එව්වේ ?
කොහොමද උඹ එයාව දන්නේ ?
ඇයි ??? ඒක උඹ මට එව්වේ ?
මේ වගේ ප්‍රශ්න පත්‍රයක් සඳුනිගෙන් මම එක දිගටම අහන්න ගත්තා.
😁 මචං විසල්, මම දැන් බීම් එකට යනවා News කියන්න. මම ඒක ඉවර කරලා ඇවිත් උඹට සීන් එක කියන්නම්.
🥺 අඩෝ මචං කියලා පලයං කෝ බම්.
😁 හරි හරි මම News එක කියලා ඇවිත් කියන්නම් බම්
2024-05-31 20.18
Sanduni is Calling.....
Sanduni is Calling.....
Sanduni is Calling.....
😁 මචං විසල්, උඹ මොකද කරන්නේ ?
🥺 මම මේ නිදාං නැගිට්ටා විතරයි.
😁 මේ හවස උඹ නිදා ගන්නවා ද බම්
🥺 සමහර ප්‍රශ්න වලට උත්තර නිදාගෙන නැගිටින එකයි මචං
😁 මේ අර මම උඹට Forward කරපු මැසේජ් එක එව්වේ උඹේ Ex, විස්තරේ විස්තරාත්මකව කියන්නම් මම පස්සේ වෙලාවක. උඹ මේ සෙනසුරාදා එයාව බලන්න, විහාරමහා දේවී පාර්ක් එකට පලයං !!! හොඳ ද.
🥺 මේ අහපං සඳුනී... උඹ හැමදේම දැනගෙනත් ඔහොම නොදන්න ගාණට හැසිරෙන්න එපා මචං.
😁 මචං විසල්, මම උඹෙන් කිසි දෙයක් හංගලාත් නෑ, ඉල්ලලා නෑ අද වෙනකං. මම කියනවාට පලයං කෝ පොඩ්ඩක්. මම දන්නවා උඹ ඉන්නේ, හැමදේම අමතක කරලා කියලා. නමුත් පැමිණිල්ලට වගේම විත්තියටත් අවස්ථාවක් දීපං බං නිදහසට කරුණු දක්වන්න. දැන් උඹ අවුරුදු කීයක් කියලා ඒයට එහෙම දඩුවම් කරන්නද බං. මේ පාර මං කියනවාට පලයං කෝ.
හා........ මේ මචං විසල්
එන්න කිව්වේ වෙනදා වෙලාවටම, උඹලා වෙනදා හම්බ වුණ තැනට කියලා කියන්න කිව්වා මචං. උඹ ඒ තැන දන්නවා කිව්වා
🥺 මචං සඳුනී මේ මම උඹට දෙන පලවෙනී හා අන්තිම අවස්ථාව බං. ආයේ උඹට මගෙන් කිසිම උදව්වක් නෑ බම්.
Sanduni is Send - 😡😡😡😡😡
❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤❤🖤
වෙනදා වෙලාවටම වෙනදා තැන කියන්නේ ඉතිං.....
දවස - සෙනසුරාදා
වෙලාව - 10.00
ස්ථානය - විහාරමහා දේවී පාර්ක් එකේ වික්ටෝරියා පිළිරුව ඉස්සරහා තියෙන ලී බංකුව නේ.
කියලා මම මටම කියා ගත්තා.
සිකුරාදා රෑ මට එලිවෙන්නේම
හෙට යනවාද නැද්ද...
යනවාද නැද්ද...
කියලා හිත දෙගිඩියවක අතරමං කරන ගමන්. කොහොම හරි මෙහෙම හිත හිත ඉද්දීම....
සෙනසුරාදා දවසත් උදා වුණා. උදෙන්ම ඔෆිස් එකට කෝල් එකක් අරන්
" මට අද සනීප නෑ වගේ. අද මට නිවාඩුවක් ඔනේ. මම හෙට Day off එකත් අරන් සදුදා ආයේ වැඩට එන්නේ " කියලා මගේ නිවාඩුවත් අනුමත කරගත්තා.
සුපුරුදු පරිදි ලැස්ති වෙලා බයික් එකේ නැගලා විහාරමහා දේවී පාර්ක් එකට ආවා. ඇවිත් සුපුරුදු ඒ ලී බංකුවේ ම ඉදගත්තා. උදේම ආවට මොකද මම ආවේ උදේටත් නොකා. හරි...කමක් නෑ තවම 9.45 නේ ළඟ කඩේකට ගිහිං මොනවා හරි කාලා, තේ එකකුත් බිලා එනවා කියලා බංකුවෙන් නැගිටින්න හදද්දීම එයා එනවා. බැග් එකකුත් කරේ එල්ලගෙන.
(තවම අයියා ජපානෙන් එවපු ඒ බෑග් එකමද කොහෙද පාවිච්චී කරන්නේ යැයි මම මටම කියා ගත්තා)
💔 ඔයා කලින්ම ආවාද විසල්
🥺 නෑ මම මේ ආවා විතරයි
💔 බොරු නේද
🥺 විකාර කියවන්නේ නැතිව මට ඇයි එන්න කිව්වේ කියලා කියන්න. මට වැඩ තියෙනවා. මම මේ ආවේ half Day එකක් දාගෙනයි.
💔 හරි ඉන්න කෝ ළමයෝ. හා මේක කන්න ඔයා නොකා නේ එන්න ඇත්තේ ? ආ... මේ ටෝස්ටර් කරපු පොල් සම්බල් පාන් එක කන්න. ඔයා ආසයි නේ ටෝස්ටර් කරපු පොල් සම්බල් පාන් කන්න. ආ...... මං වතුර බෝතලයකුත් ගෙනවා.
🥺 නෑ මං කාලා ආවේ. අම්මා අද උදේ ම කිරිබත් හදලා තිබ්බා. හනික මට බඩගිනිත් නෑ. මං හොදට බඩ පිරෙන්න කාලා ආව නිසා.
💔 මම හිතුවේ ඔයා පරණ විදිහටම නොකා එන්න ඇති කියලා. ඒකයි මම ඔයාටත් එක්කම කෑම ගෙනාවේ. ඔයා හරි ඉක්මනින් වෙනස් වෙලා නේ විසල්.
🥺 ඔව්... දැන් අවුරුදු ගාණක් වුණා නේ. මේ අවුරුදු ගාණට බලන්න මෙතැන කොච්චර දේවල් වෙනස් වෙලාද කියලා. ඉතිං අජිවී දේවල් ඒ තරම් වෙනස් වෙද්දී ජිවී මම වෙනස් නොවෙන්න පුලුවන් ද
💔 හ්ම් හ්ම්
🥺 හරි විකාර කියවන්නේ නැතිව ඔයාට මාව හම්බවෙන්න ඔන වුණ කාරණාව කියන්න.
💔 නොකෑවාට කමක් නෑ. මම ඔයාට එනකොට දෙයක් ගෙනවා. ඒකවත් ගන්න.
🥺 මේ මගුල් නටන්න එපා. ආපු කාරණය කියන්න. මට දැන් ඔයාවයි ඔයාගේ වැඩයි අප්පිරියායි.
💔 හා මේ ලිලැක් කවි පොත ඔයාට මං ගත්තේ
කියමින් ඒ කවි පොත මාගේ අත උඩින් තිබ්බා. මේ අවුරුදු කිහිපයට හෞතික අහෞතික දේවල් ගොඩාක් වෙනස් වෙලා, නමුත් තවමත් කවි වලින් මගේ හිත රිදව ගන්න එක, ඒ කවි වලින් ම මම සියදිවි හානි කරගන්න ගන්නා උත්සහාය වෙනස් වෙලා නෑ. ඒක ආයේ ආයෙම ස්මරණය වුණා, මේ කවි පොත අතට ලැබුණාත් එක්කම.
මිනිස්සුන්ට දරාගන්නම බැරි වුණාම මිනිස්සු නිහඩ වෙනවා දෙයාකාරයකට. ඒ මරණයෙන් හා නොමැරි සිටිමෙන්. ඔව් සමහර වෙලාවට සමහර ප්‍රශ්න වලට උත්තර නිහඩතවය හා කාලයයි. කාලය තමයි ගොඩාක් ප්‍රශ්න වලට උත්තරය කියලා දැනෙද්දී මම වයසින් වගේම අත්දැකීම් වලින් ද මුහුකුරා ගිහිං. මම මේ ළගකදී කණ්ණාඩිය ගාව කොණ්ඩේ පිරන කොට දැක්කා සුදු කෙස් ගසක් ඔලුවේ තියෙනවා. ඒ කියන්නේ වයස 28 කියන එකත් දැන් ලොකු වයසක් නේ කියලා දැනෙන්නේ ගත්තා. දැන් මම වයස 28 ක නාකී මනුස්සයෙක්.
මගේ අත උඩ තිබ්බ ලිලැක් කවි පොත මම අතට අරගෙන පිටු පෙරලන්න ගත්තා. ඒ පිටු හරිම ගෝරෝසුයි. හරියටම මේ දැන් ඉන්න මම වගේ.
❤🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸
"හැබෑවේ මහප්‍රාණ ගතියට වඩා ෆැන්ටසියේ අල්පප්‍රාණ ගතිය ඇතුළේ ජිවත්වෙන්න නැවුම් පෙළඹවීමක් තියෙනවා."
පිටුව 07
මුලින්ම හිත ගියේ ඒ වචන පේළියටයි.
මට සමාවෙන්න ඔයාට බැන්නාට කියලා මම මගේ හිත ඇතුළෙන් මටම මුමුණ ගත්තාත්, මුහුණේ තවරා ගත්ත කේන්තියේ අඩුවක් පිටතට නොපෙන්නුවෙමී.
💔 ඔයා දන්නාද මම ඔයාව දාලා ගියාට පස්සේ මොනවාද වුණේ කියලා. මම කියන්නම් ඔයා අහන්න කැමතිද කියන්න කෝ... අනේ කියන්න කෝ විසල් ?
🥺 හ්ම් හ්ම්
වචන මිනිස්සුන්ව කොතරම් දුරට රිදවනවාද කියලා මට වඩා දන්නා අය කොතරම් සිටිනවද යන්න. මහා දැවැන්ත ප්‍රතාපවත් ව හිඳ ඉන්න වික්ටෝරියා අධිරාජිණියගේ පිළිරුව දෙස බලමින් මම මගේ හිත තුළම මුමුණන්නට ගත්තේ ලිලැක් කවි පොතේ පිටු එකින් එක පෙරළමින්.
"හැමෝම එහෙමයි, තියෙන දේට වඩා නැති දේට ආදරේ කරනවා. කාටවත් පෙන්නේ නෑ."
පිටුව 15
💔 ඔව් විසල් අපි හැමෝම එහෙමයි. උපුල් ශාන්ත සන්නස්ගලත් අම්මා කියන කෘතියේ එක ලස්සනට විග්‍රහා කරනවා.
🥺 මම සද්දෙන්ද පොත කියවන්නේ ?
💔 ඔව්... මගේ මෝඩ ළමයෝ ඔව්...
🥺 මට මෝඩ ළමයා කියල කියන්න එපා, ඒවා දැන් මට නුහුරුයි. ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට ඔයා කරන කියන දේවල් වලින් ඔයාව තව තවත් අප්පිරියා වෙන එක විතරයි වෙන්නේ. මට සමාවෙන්න එහෙම කියනවාට. නමුත් දැන් මට ඒ වචන හරි අප්පිරියායි.
💔 හරි මම නතර කරපු තැනින් කතාව කියාං යන්නම් කෝ. මම ඔයාට එන්න කියලා මගේ පාස්පෝට් විසා ඔක්කෝම පෙන්නුවාට පස්සේ........
වක්කඩේ වගේ ඒයා කතාව ඔහේ කියාගෙන යද්දී, මම ආයෙමත් ලිලැක් පොත එක්ක රමණයේ යෙදෙන්න පටන් ගත්තා. ලිලැක් පොත එක්ක පෙම් කෙළින්න ඔනේ කියලා හිතුවත්, දැන් මට ඉර හඳ අතට ගෙනත් දුන්නාත් කිසිවෙකු ගැනවත් ප්‍රේමයක් නම් ආයේමත් මගේ හිතේ හට නොගන්නා බව මං දන්නවා.
" හදවත තුවාල වුණාම ගලන ලේ රතුපාට නෑ, අවර්ණයි. ඒ ලේවලට කියන්නේ කදුළු කියලා. හදවත තුවාල වුණාම නැගෙන වේදනාවේ විලාපයට හඬක් නෑ, ඒවාට කියන්නේ සුසුම් කියලා "
පිටුව 36
මට මේ වචන ටික දකිද්දිම මතක් වුණේ අමරසිරි පිරිස් මහතාගේ සිංදුවක අතරමැදිව තිබු පද පේලියක්....
" සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා " අනෙක් වචන ටික නම් මතකෙට ආවේම නෑ. ඒවා මතක් කරන්න උත්සහා කලාත් ඒ උත්සහයත් අසාර්ථක වුණා මිසක් මේ අවස්ථාවේ දී මටත් සාර්ථක වෙන්න වුවමනාවක් නොතිබුණා.
" ජිවිතය කොටු කළ
රවුම් රන් බැම්මේ
ප්‍රේමය කියා ඔබ
මොනවාද දුන්නේ "
පිටුව 37
මම මේක හයියෙන් කියවන්න කියලා හිතාගෙන ඒ දිහාවට හැරෙන කොටම ඒයා අඬමින්ම මට මොනවාද කියාගෙන කියාගෙන යනවා. හරියට මාගලක ලියපු කතාවක් වගේ කියලා විතරක් මට දැනෙනවා. මම මේ ඒයා අඬනවා දැකපු දෙවැනි වතාවයි. දවසක් අඬනවා කියලා 📸 එකක් මට එව්වා හැරුනු කොට එයා අඬනවා මම කවදාවත් ම දැකලා තිබුණේ නෑ. මම ඒයාගේ ඒ හැඩි දැඩි මුහුණේ ඉහළ සිට පහළට රූටා වැටෙන උණු කදුළු මගේ රළු ඇගිලි වලින් පිස දැම්මා.
💔 ඔයාට දුකයි නේද මං අඩද්දී
🥺 අපෝ නෑ මෙතැන අඬන්න එපා. පාරේ යන මිනිස්සු අපි දිහා වැරදියට බලයි. ඒකයි මම එහෙම කළේ නැතිව වෙන මොකක් වත් නිසා නෙවෙයි.
42. " උඹ පළවෙනියා නෙමෙයි, අන්තිමයත් නොවෙන්න පුළුවන්..... ඒත්..... ප්‍රේමයයි කියලා මං ඇඟිල්ල දික් කරලා පෙන්නන තැනක් තියෙනවනම් ඒ උඹම විතරයි... උඹේ ආදරේ පරිමාව අනන්තයට වඩා ටිකක් ගැඹුරයි.
උඹ සිරව ඇත්තේ
හදවනේ හරී මැද
ලේ නහර දෙකක් හරස් වන
පටු දෙබොක්කාවක
අපි අසම්මතයි, ඔව් ඇත්ත..
ඒත් මියෙනා දවසකත්
මා ප්‍රේමයයැයි පෙන්වන්නේ
උඹ ඉන්නා පැත්ත
කාලයකට කලින් විතරක් නෙවෙයි මේ කවිය කියවන්නට මොහොතකට කලිනුත් මම මේ අදහසේමයි හිටියේ. නමුත් දැන් මම අතරමං වුණා මේ කවිය අස්සේ දැන් මම මොකද කරන්නේ කොහොමද මං දැන් ආපු පාර හොයා ගන්නේ.
අනේ මාව බේරා ගන්න....
අනේ මාව බේරා ගන්න....
අනේ මාව බේරා ගන්න...
කියලා දුර්වල පිරිමි ආත්මයක් විදිහට කෑ ගහන්නද කියන්නේ. මට ඇත්තටම බයයි. මම අවුරුදු කිහිපයක් කළුවරක ජිවත් වෙච්ච මනුස්සයෙක්. මේ ගිනි ගහන මධ්‍යානයක ආයේ කළුවරක අතරමං වෙන්න බෑ.
💔 මොකද ළමයෝ ඔයාට එක පාරටම ඔච්චර දාඩියක් දාන්නේ.
ඔයාට අසනීපයක්වත්ද ?
අපි ඉස්පිරිතාලෙට ගිහිං බෙහෙත් ටිකක් ගමුද???? කෝ නැගිටින්න...
ඔයාගේ ඔළුවත් හොඳටම රස්නෙයි නේ...
🥺 ඇයි!!! රට සල්ලීවල හයිය හත්තිය, ඔයාට ඔනේ මට පෙන්නන්නද ???
💔 නෑ... මම එහෙම අදහසක් අදහස් කලේ නෑ. (එහෙනම් අඩුම තරමේ මේ වතුර එකවත් බොන්න කියලා වතුර බෝතලයක් දුන්නා.)
🥺 ඔයා බිව්වාද
💔 මම දන්නවා ඔයා කවුරුත් බීපුවා බොන්න කැමති නැ කියලා මේක අලුත් වතුර බෝතලයක් විසල්
43.
කන්දකට පුළුවන් නම්
දියවෙන්න
මුහුදකට බැරි ඇයි
ගිනිගන්න
මම මොකටද ආයේ ආයේමත් මට අයිති නැති අතීතයකට ගිහිං,
ජිවත් වෙන්න හදන්නේ ?
දුක් විදින්නේ ?
අතරමං වෙන්නේ ?
ඇයි මම ආයෙත් මට අයිති නෑ කියලා සනාථ වෙලා තියෙන අතිතයක් එක්ක,
ඒ අතීතයට අයිතිවාසිකම් කියන මනුස්සයෙක් එක්ක, මේ තරම් ගැටෙන්නේ. මට ඔනේ දැන් කන්දක් වගේ දියවෙන්න, මුහුදක් වගේ ගිනි නොගත්තාත්. මුහුදක් වගේ ගිනි අරන් කොහොමද මං ඒයා පුච්චලා අළු කරලා දාන්නේ. මම ඒයාට තවමත් ගොඩාක් ආදරේ නේ දෙයියනේ.... මට ඔනේ මේ ඔක්කෝම දමලා දලා මෙතැනින් දුවලා, ගෙදර ගිහිං කාමරේ දොර වහාං කෑ ගහගෙන හයියෙන් අඩන්න. එත් පිරිමි ආත්මයකට මෙහෙම ප්‍රශ්න වලින් පැනලා යන්න බැහැ කියලා සමාජ සම්මතයන් තියෙනවා. දැන් විරාහව ආයෙමත් මගේ හදවතේ කිරුළු පළදින්න යන්නේ. කිරුළු පැළදුම් උත්සවය අවසන් වෙන්නේ මගේ ඇස් වලට උණු කදුළු එක් කරලා කියලා දන්න නිසාම, මම බංකුවෙන් නැගිටින්න උත්සහා කරද්දී එකවරම ලිලැක් කවි පොත මගේ අතින් බිමට වැටුණා.
💔 ඇයි විසල්......
🥺 නෑ මුකුත් නෑ
💔 මම දන්නවා විසල්. ඔයාට මාව ආයේමත් දකින්න වුණ එක වේදනාවක් කියලා. එත් මට ඔයාව දකින්න ම ඔනේ වුණා. මම මහාම මහා ආත්මාර්ථකාමී මනුස්සයෙක් නේ.
🥺 එහෙම නෑ මම ඒ අතීතය අමතක කරලා ගොඩාක් කල්
💔 මට අච්චර ආදරේ කරපු ඔයා කොහොම එකපාරම මාව මතක කරන්න තරම් ශක්තිමත් වුණේ.
🥺 ඔයා දන්නේ නෑ. ඔයා මාව දාලා ගියාට පස්සේ මම ඔයාව සම්බන්ධ කරගන්න කොච්චර නම් උත්සහා කලාද කියලා. සමහර උත්සාහයන් ඔයා ප්‍රතික්ෂේප කලා. ඒතකොට මම ගොඩාක් ඇඩුවා. සමහර දවස්වල රෑයක් දවාලක් නැතිව ඇඩුවා. සමහර වෙලාවල් වලදී ඔෆිස් එකේ කාමරයට වෙලා තනියෙන් ඇඩුවා. ඔෆිස් වොෂ් රෑම් එකේ පවා ඇඩුවා. කොච්චර ඇඩුවාද කියනවා නම් ඉර පායන බහින නිනව්වක්වත් මම මාස කිපයක් යනකං දැනගෙන හිටියේ නෑ. කාපු කෑම බීම වල රසක් මාස ගාණක් යනකං දැනගෙන හිටියේ නෑ. ජිවත් වුණාට ජිවත් වුණා.
අම්මා නිසාම ජිවත් වුණා මිසක් නැත්තම් මම මේ වෙලාවට මැරිලා, මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා. ඒදා රෑ අම්මා නින්දෙන් මගේ නම කියාගෙන අඩනවා මට ඇහුණේ නැත්තම්, අද මං මෙතැන නැතිවෙන්නත් තිබ්බා. අම්මාට පිං සිද්ධ වෙන්න මම ජිවත් වෙනවා කියලා කියන්න හිතුණාත් ලිලැක් පොතේ තැවරුණු වැලි පිසදාද්දී දැකපු කොටසක් ඒහා දිහාවට හැරිලා මෙහෙම කිව්වා
"අම්මාගේ සුවඳට විතරක් දෙවෙනි වෙන ඊළඟ අපුරුම සුවඳ තියෙන්නේ කොළඹ මහජන පුස්තකාලේ දැව රාක්ක අතරේ,
එතනම ජිවත් වෙලා එතනම මැරිලා යන්න තරම් ආස හිතෙන... පොත් සුවඳ..."
පිටුව 48
💔 විසල් මම ඔයාට තවමත් ආදරෙයි ළමයෝ... ඇත්තටම මාව කියවන්න පුලුවන් වුණ එකම කෙනා ඔයා විසල්... මාව තේරුම ගන්න පුලුවන් එකම කෙනා ඔයායි විසල්... එත් මට ඔයා ගාව රැදෙන්න බෑ විසල්, තේරුම් ගන්න. නමුත් මං ඔයාට ගොඩාක් ආදරේ ළමයෝ එදා වගේම අදත් .....
🥺 අහේතුකව මිනිස්සුන්ට තිරණ ගන්න අයිතියක් තියෙනවා. ඒකට හේතු අවශ්‍ය නෑ...
💔 විසල් ඇයි ඔයා මාව වචන වලින් රිදවන්නේ
🥺 මට ඔයා එක්ක අන්තිම පාරට මෙතැන කෝපී එකක් බොන්න ආසයි. ඔයාට පුලුවන් ද කෝපී එකක් අරන් එන්න. හැබැයි එක කොන්දේසියක් මත, ඒවාට මම සල්ලී ගෙවන්නම්
💔 හරි මම ඉක්මනින් අරන් එන්නම්. ඔයාට ඉතිං මගේ රට සල්ලී වල හයිය හත්තිය බලන්න ඔනේ නැහැ නේ. කෝ සල්ලී දෙන්න.
🥺 හ්ම් හ්ම් හා සල්ලී....
අතීතයේ දී තනිවුණ, අනාගතයෙත් තනිවෙන මම, වර්තමානයේ ආයෙමත් ම තනිවුණා. මේ සාවිශාල ගෙන්දගම් පොළවේ, ලෝකයක් පාලනය කරපු ප්‍රතාපවත් වික්ටෝරියා රැජිණ ඉස්සරහා...
ඔබට රිදවන්නේ " ආදරය " නොවේ, ආදරය කරන්නේ කෙසේදැයි නොදන්නා
"මිනිසුන්ය" !
පිටුව 52
මේ පද පේළීය යටින් ඒයා නිල් පෑනකින්
"මට සමාවෙන්න විසල්" කියලා ලියලා තිබුණා. ඒයට පිළිතුරු ලෙස මගේ සුපුරුදු උත්තර " හ්ම් හ්ම් " ලෙස රතු පෑනකින් සටහන් කලා....
එකවරම සිහින් මන්දාරම් වැහි පොදකින් මුළු වික්ටෝරියා උද්‍යානයම යටත් කරගන්නට විය. ඉක්මනින්ම මම ඒයාගේ බෑගයත් මගේ බෑගයත් ලීලැක් කවි පොතත් රැගෙන මදක් පසුපසින් තියෙන ආවරණයක් සහිත රවුම් කුඩාරමට ගොඩ වුණා.
ඒයා ඒයාගේ කැරළීකාර කොණ්ඩයේ හිතුවක්කාර වැහි බිංදුත් දරාගෙන කෝපී කෝප්ප දෙකක් අත් දෙකට අරන් කුඩාරමට ගොඩ වුණා.
💔 එකාපාරම වැස්සා නේද. ඔයා තෙමුණාද ? මේක අල්ල ගන්න කෝ පොඩ්ඩක්....
🥺 කෝ දෙන්න.
💔 හොඳටම තෙමුණා බලනවා කෝ. කොහෙද ඉතිං ඔයාට තවම අපි හම්බ වුණාම ඔය කෝපි බොන පිස්සු පුරුද්ද අත්හරින්න බැරි වුණා නේ. ඔයාත් හොඳටම තෙමිලා නේ විසල්. මේ එන්න ඔයාගේ ඔළුවත් පිහදාන්න.
🥺 මට වදයක් නොවී ඉන්න
💔 හරි එහෙනම් මේ කෝපි එක බොන්න විසල්
🥺 මේ මොකද එකක් නිවිලා එකක් උණුවෙන්
💔 ඔයා තවම කෝපී බොන්නේ නිවලා නේද
🥺 ඔව්... ඒ වුණාට ඔයා මං ගැන ඔනාවට වඩා හිතන්න ඔනේ නෑ...
ලී බංකුවේ වාඩි වී කෝපී බොන ගමන් ලිලැක් කවී පොතේ අවසන් කවි කිහිපය කියවුවෙමී.
"ඉතිං කෝපි රස්නෙන් බොනවාද? නිවලා බොනවාද? නොබී ඉන්නවාද?"
පිටුව 53
දෛවය වුණත් සෙල්ලම් කරන්නේ ඉක්මනින් රිදෙන මිනිස්සු එක්කයි. රිදෙනවා කියන්නේ අපි ජිවත් වෙනවා කියන එකටයි කියලා, මට දැන ගන්න මහා කාලයක් ගියේ නෑ. කෝපි බිලා ඉවර වුණ මම කෝපි කෝප්පය ලී පුටුව උඩම තිබ්බා.
💔 අපි විතරක් නෙවෙයි. අපේ අවටත් ලස්සනට තියෙන්න ඔනේ විසල්. තව කෙනෙක්ට අඩුම තරමේ ඒතැනට ඇවිත් ගිමන් හැරලා යන්නවත්. කියලා ඒයා මගෙත් ඒයාගෙත් කෝපි කෝප්ප දෙක කසල බදුනකට දාලා එන්න ගියා
කොහොවත් නොයා මෙන්න මෙතැන ඉන්නවා. තව ටිකකින් අපි දෙන්නාම ආයේ දෙපැත්තකට යනවා නේ. ඒ නිසාවත් මේ චුටිම චුට්ටි වෙලාවේ වත් මං ගාව ඉන්නවා කියලා කියන්න ඔනේ වුණත් අහේතුකව නොකියා හිටියා. ලිලැක් කවි පොතත් කියවා අවසන් නිසාම මම ඒ කවී පොත ඒයාට හොරෙන් ඒයාගේ ම බෑගයට දැම්මා.
💔 දැන් හවස් වෙන්නත් ළගයි නේද ?
🥺 ඔව්
💔 විසල් මම එහෙනම් ගිහිං එන්න ද?
🥺 යනවා කියලා කියන්න. ගිහිං එන්නම් කියලා නෙවෙයි.
එකවරම මාව තදින් වැළද ගෙන මගේ දෙතොල් සිප ගන්නට විය. තවමත් මම පාවිච්චි කරන ඒ සුවඳ විලවුන් එකමයි ඒයාත් පාවිච්චි කරන්නේ. තවම ඒ හුරුපුරුදු සුවඳමයි ඒයා ගාවින් හමන්නේ. ඒ ඉපැරණී උණුසුමමයි මට තවම ඒයා ගාවින් දැනෙන්නේ. ඒ දරදඬු බවෙත් කිසිම වෙනසක් නෑ. මම මගේ ඇස් දෙක පිහාගත්තා. එත් මොහොතක්වත් ගත වෙන්න වුණේ නෑ මම එයාව පැත්තකට තල්ලු කලා..
💔 ඇයි මොකෝ එකපාරටම විසල්
🥺 නෑ අපි කරන්නේ වැරදි වැඩක්
💔 ඔයා බයයි ද ?
🥺 මම බය නැහැ... දැන් ඔයා යන්න.
💔 හරි එනම් මම යන්නම්
🥺 එත් ඇයි ඔයා අද කලින්ම යන්නේ ?
💔 මදු අයියා එන්න කලින් යන්න ඔනේ මම. නැත්තම් ඒයා ආයි මං කොහෙද ගියේ කියලා විසල්.
🥺 හ්ම් හ්ම්
💔 විසල් මමයි මදු අයියායි ජුනි 25 රට යනවා. අපිට මෙහෙට වඩා ඒ ආරක්ෂිතයි. ඔයා පරිස්සමෙන් ඉන්න ළමයෝ. මම ඔයාට තවමත් ගොඩාක් ආදරෙයි විසල්
🥺 මට නෙවෙයි ඔයා ආදරේ කරන්න ඔනේ මදු අයියාටයි
💔 ඇති විසල්... ඔහොම මාව රිද්දන්න එපා ළමයෝ.... මුකුත් කියන්නත් ඒපා මම ඔයාට ඒදා වගේම අදත්, අද වගේම හෙටත් ආදරෙයි ❤. පරිස්සමෙන් ඉන්න, වෙලාවට කන්න බොන්න, හවසට නාන්න එපා. නිදි මරන්නත් එපා පුලුවන් නම් Night Sift කරන එක නතර කරන්න. පරිස්සමෙන් බුදු සරණයි විසල්.
🥺 හ්ම් හ්ම්
එකවරම බෑගයෙන් එලියට ගත් විශාල පාර්සලයක් ලී බංකුව මත තබා ඈතින් ඇති ත්‍රී රෝද රථයක් වෙත දිවගෙන යන්නට විය.
ත්‍රී රෝද රථය වෙත දිවයද්දීත්.......
💔 මං ඔයාට ගොඩාක් ආදරෙයි ළමයෝ. එත් මට සමාවෙන්න. මට වෙන කරන්න දෙයක් නෑ විසල්... මට ඔයාගේ ආදරේ දරාගන්න වගේම අත්හරින්න අමාරුයි විසල්. මොකද මං එච්චරම ඔයාට බැඳිලා ඉන්නේ. ඔයාට පුලුවන් නම් තරු පායන දවස්වලට අහස දිහා බලන්න, මං ඔයාට පණිවිඩයක්, ඒ තරු පිරුණු අහසේ තැනක තියලා තියෙනවා.
නිරුත්තර මම ඒතැන, ඒ ලී බංකුව මතම පරාජිතයෙක් ලෙස වාඩි වුවෙමී. එකවරම නා කපන වැස්සකින් මාගේ මනස සේම ගතත්, මුළු වික්ටෝරියා උද්‍යානයත්, උද්‍යානයට මුහුණලා සිටින හිරු නොබසින අධිරාජ්‍යයේ ප්‍රතාපවත් වික්ටෝරියා රැජිණවත් වෙලාගන්නට විය.
48.
"මගේ නොවෙන මගේම ප්‍රේමයක් නොතිබුණු එක මල් ගහක් ගැන මට කියන්න..... එතකොට මට පුළුවන් වසන්තයයි. ගිම්හානයයි අතර අලුත් ඉර්තුවක් ගැන එක අලුත් කතාවක් ඔයාට කියන්න
ඉර එළිය දිය වෙවි ගලන
රකුසු ඇස් දහවලක
සිඹින්නට අවසර නොමැත
කම්මුල්, දෙතොල්, නළලත
ඉතිං.........
තබා ඇඟිල්ලක් දෙතොලත
එය තවරම් ඔබේ නළලත
එහි තිබේ මා නොතැවරූ...
උණුසුම... හාදු දහසක"
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤
2024 ජුලී 05
✒️ ඔමී ©️
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment