දිනය 2024 - 02 - 14
වෙලාව රෑ 11.50 යි
💙 හලෝ ඔමී...
❤ උඹ නිදි නැද්ද තවම ?
💙 නෑ...
❤ නෑ... කියලා දන්නවා මං. තෝ පළවෙනි Ring එකෙන්ම ෆෝන් එක උස්සද්දී.
💙 කියන්න ඇයි කෝල් ගත්තේ ඔමී....
❤ ඔයා ආදරේ කරන මනුස්සයා, මට කතා කළා.
💙 හ්ම් හ්ම්
❤ මේ දෙයක් අහන්නම්. කියන්න පුලුවන් දෙයක් නම් කිහාං. මට පුලුවන් ඔයාට ඇහුම්කන් දෙන්න.
💙 මම දැකපු හොදම සවන්දෙන්නා ඔයා ඔමී. ඔයාට නොකියන දෙයක් තියෙනවාද මම.
❤ එයා කියපු නිසාම නෙවෙයි. මමත් අහන්න හිටියේ. මේ 2024 අවුරුද්ද පටන් ගත්තා දවසේ ඉදන් ඔයා ගොඩාක් වෙනස් වෙලා කියලා මට දැණුනා, ගොඩාක් තැන්වල දී.
💙 හ්ම් හ්ම්
❤ බස්සෙක් වගේ ඔව් ත් නැති නැහැ ත් නැති උත්තර එපා මට. ඇයි උඹට දැන් ඒ මනුස්සයාව එපාද ? ඔයා එයාට ආදරේ නැද්ද ... ?
💙 ඔමී... ඔයාගේ විදිහට කවියකින් ම කියන්නද මම,
----------------------------------
21. ප්‍රේමය
දාහක් පින්තුර අතර
මගේ චිත්‍රය
ඔබ !
---------------------------------
❤ මේ කවිය මට කියවලා පුරුදුයි වගේ...
💙 ඔව් මේක "වෙල්වට් ප්‍රේමය" කවි පොතේ කවියක්. ඒ දරදඩු මනුස්සයා තමයි දැන් මගේ හැමදේම ඔමී...
❤ එහෙම නම් ඇයි ? මොකද වුණේ ඔයලා අතර, ඇයි ? හැමවෙලාවකම තොරතොංචියක් නැතුව කතා කරන ඔයා අද නිහඩ වෙලා...
💙 ඔමී... මම මේක නොකියා ඉන්නමයි උත්සහා කලේ, නමුත් කමක් නෑ හෙට උදේට මගේ පපුව පැලිලා මැරිලා හිටියොත්. ඉතිං කවුරුත් නොදන්න මගේ නිර්දෝශි කතාව එක්කෙනෙක් හරි දැන ගන්න ඔනේ.
❤ පිස්සු කතා කියන්න එපා. මොනවාද මම නොදන්න ඔයාට තියෙන ප්‍රශ්ණ... ?
💙 ඔමී... ඔයාට මතකද මම අන්තිමේට අඩපු දවස ?
❤ ඔව්... එත් ඒ ඔයා අන්තිමේට අඩපු දවස නෙවෙයි. ඔයා පලවෙනියාට අඩනවා දැක්කෙත් එදායි මම, මේ අවුරුදු 27 ටම.
💙 සමහර විට....
❤ නෑ... ඔයා අම්මා මැරුණාමත්, තාත්තා මැරුණාමත් ඔහොම කෑ ගහලා ඇඩුවේ නෑ නේ. ඒ හැම මොහොතකම මං ඔයා ලගම නේ හිටියේ...
💙 මේතැන ඉදන් මමයි කතා කරන්නේ. ඔයාට පුලුවන් "හ්ම් හ්ම්" ගහලා උත්තර දෙන්න විතරයි හරිද එකගද. ප්‍රතිප්‍රශ්ණ අහන්න බෑ ඔමී... පොරොන්දු වෙනවා නම් මං කියනවා කතාව...
❤ හ්ම් හ්ම්
💙 මෝඩ කොල්ලා...
❤ හ්ම් හ්ම්
💙 ඔමී... තාත්තාගෙ මරණෙන් පස්සේ ජිවිතේ කණ පිට පෙරළුනේ පොතක පිටුවක් පෙරළෙනවා වගේ සියුම්ව. කාලය දින, සති, මාස කියලා ගෙවිලා යද්දී මටත් ඒ යාථාර්තයට ආයේ මුහුණ දෙන්න අවස්ථාවක් ආවා...
ආච්චිත් ඒ ගෙවන දින මාස එක්ක වයසට යනවා. එයාට මාත් එක්ක ඉන්න තියෙන කාලය අඩු වෙන්න ගන්නවා. මගේ ජිවිතේ ආච්චි කියන්නේ ම වෙනම පරිච්ඡේදයක්. ඒයා ගැන පොතක් හරි ලියන්න පුලුවන් මට. ඒ තරමට එයා මගේ හැමදේම. සමහරුන්ට අම්මා තාත්තාට පස්සේ ආච්චි සීයා...ඒත් මට ආච්චීට පස්සෙයි අම්මා තාත්තාත්...
❤ ඔව් මං ඒක හොදටම දන්නවා.
💙 මං කිව්වා ඔයාට පුලුවන් "හ්ම් හ්ම්" ගාන්න විතරයි.
❤ හ්ම් හ්ම්
💙 ඉතිං ආච්චි ගේ අන්තිම දවස් තුන ගැන ඔයා දන්නවාද? නැහැ නේ. ඔයාලා නොදන්න කතාවක් අපි අතර වුණා.
ඉන්න මං කියන්නම්. ඒයා එක පාරටම අසනිප වෙලා ඇදට වැටුණාම මං ඔෆිස් එකේ ඉදන් දුවාගෙන ගෙදර ආවේ නා කපන වැස්සක් එක්ක. එනකොටත් එයා ඇදේ හාන්සි වෙලා නිදාං හිටියේ. ඉතිං මමත් එයා ළගින්ම වාඩි වුණා. ( මදක් නිහඩයි )
🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍
ටික වෙලාවකට පස්සේ මං දැක්කා මම උදේ උයලා ගියපු කෑම ආච්චි කාලා නෑ කියලා. ඉතිං ඒයාට තේ හදන්න කුස්සියට යද්දිම, මං ගොඩාක් ම ආසා කරන මං තේ බොන කෝප්පය වැටිලා කැඩෙනවා. ඒක අහඹු සිද්ධියක් කියලා හිත හදාගෙන, හවස බුදුන් වදින්න යද්දී බුදු පහනත් මගේ අතින්ම වැටිලා බිදිලා පොල්තෙල් සිසීකඩ විසිරෙනවා. දැන් නම් හිත ගොඩාක් නොසන්සුන් වුණා. මම බය වෙන්න ගත්තා. කොහොමද මේ තනීවීම මම දරාගන්නේ කියලා. බය වෙලා පවුලේ හැමෝටම කෝල් කරලා සිද්ධිය කිව්වාම හැමෝම ආච්චිව බලන්න ආවා....(ලොකු හුස්මක් අත්හරී.....)
❤ ඔයා අඩනවාද......
💙 නෑ ! නෑ ! ඔමී... ඊට පස්සේ නංගි ගේ පොඩි එක්කෙනා ගෙදර ආවාම ඒයාගේ සද්දෙට ආච්චි නැගිට්ටා. දැන් මට මාරම සතුටුයි. එක පාරටම පිරිමියෙක් වෙලා ඉපදුණ එක ගැන දුක් වුණා. සම්ප්‍රාදාය සංස්කෘතික, සමාජ සම්මත අපිට ඉගන්නලා තියෙන විදිහට, කියලා දිලා තියෙන විදිහට පිරිමියෙක්ට දුකටවත් සතුටටවත් අඩන්න බෑ... කෑ ගහලා අඩන්න බෑ... බදාගෙන අඩන්න බෑ... මට ඒ වෙලාවේ අනේ මාව දලා යන්න එපා... මට බයයි තනියෙන් ඉන්න... කියලා අඩන්න හිතුණා. එත් දෛවය මට වඩා ඉක්මන්. නංගිගේ පොඩි එක්කෙනා ගියා පස්සේ ආච්චි ඇදට වැටුණා වැටුණාමයි පහුවදා උදේ වෙනකංම කතා කලේ නෑ. මම පහුවදා උදේ බය වෙලා ඩොක්ටර් කෙනෙක් ගෙදරට එක්කං ආවා ආච්චිව පෙන්නන්න. ඩොක්ටර් බලලා කිව්වා පවුලේ ඉන්න හැමෝටම ඇවිත් බලලා යන්න කියලා. මගේ මුළු ලෝකයම කඩා ගෙන බිමට වැටුණා ( කටහඩට වේදනාව මුසු විය දිර්ඝ නිහඩියාවක් )
❤ ඔයා හොදින්ද....
💙 ඔව්... ඔව්... හොදින් ඔමී ළමයෝ... හැමෝම ඇවිත් බලලා කිරි දාන්න පටන් ගත්තා. ඒ කිරි දාද්දී ආච්චි වම් අතින් ඇදට තට්ටු කරලා අත ගහන්න ගත්තා. ඒ එයා රෑට මං ළග නිදා ගනිද්දී කරන දෙයක්. මං දවසක් ඇහුවා ඇයි ඒහෙම මට කරන්නේ කියලා. එයා කිව්වා මම පුංචී කාලේ නින්දෙන් ඇවිදිනවලු. ඒකලු එයා එහෙම බලන්නේ මං ඉන්නවා ද කියලා. ඉතිං මම ඉක්මනින් ඇදට ගිහිං එයා ලග වාඩි වෙලා එයාගේ අත මගේ අත් දෙක අතරට මැදි කරගත්තා. ඒ වෙලාවේ ඒ අත මගේ අත හයියෙන් අල්ල ගත්තා. පොඩි එකෙක් මාව දාලා යන්න එපා කියලා කියනවා වගේ. ( හයියෙන් අඩන්න ගත්තා )
❤ හිත නිදහස් වෙනකං අඩන්න. අඩලා... අඩලා... හරි ඔය දුක තුනී කර ගන්න ළමයෝ
💙 කොච්චර දවස් ඇඩුවත් මේ දුක තුනී වෙන්නේ නෑ ඔමී. ඉතිං ඒ අත මට ආයේ අත්හරින්න අවස්ථාවක් ආවේ නෑ. මොකද මම අත් හැරිය ගමන් ආයේ ඇදට තට්ටු කරලා මාව හොයන්න ගන්න නිසා. මට ඒ වෙලාවේ පොළව පලාගෙන යන්න හිතුණා ඔමී... ඔහොම දවසක් ගෙවිලා යද්දී. මට තේරුණා ආච්චිට මාව මේ ලෝකේ තනියෙන් දාලා යන්න බැරි නිසා, මෙහෙම අන්තිම හුස්ම අල්ලන් දුක් විදිනවා කියලා.
මට මතකයි තාත්තා මැරුණාම හැමෝම කිව්වා ආච්චිට ඒයාලාගේ ගෙදර එන්න. මේ පොඩි එකාට ඔයාව බලාගන්න බෑ නේ කියලා. එතකොට එයා කිව්වේ "මගේ පොඩි එකාව තනියෙන් දාලා මම කොහෙවත් යන්නේ නෑ කියලායි. මම දුක හරි සැප හරි මගේ දරුවා එක්ක ඉන්නේ කිව්වා. මම ගියොත් මගේ දරුවා තනිවෙලා මැරිලා යයි කිව්වා."
තුන්වෙනී දවසේ රෑ ගෙවිලා යන්නේ ආච්චිට එයාගේ අන්තිම හුස්ම අත් හරින්න කියලා කියන්න, මගේ හිත හදා ගන්න මුළු රෑයක්ම එලිවෙනකං අඩන ගමන්. අපි ආදරේ කරන අයට අපි ආදරේ කරන කාලේ කියනවා. "අපිව දාලා යන්න ඒපා කියලා." ඒත් මෙහෙම ඒයාට යන්න බැරිව දුක් විදින කොට ඒයාට යන්න කියලා කියන්න, හිත හදා ගන්න මම මේ ආත්මයේම සරාසංඛ කල්ප ලක්ෂයක් මැරිලා ඉපදෙන්න වුණා ඔමී...
අන්තිමේට තුන්වෙනී දවසේ හවස අමාරුවෙන් හිත හදාගෙන ආච්චිට කිරි ටිකක් වැක්කෙරුවේ එයාගේ සුදු කෙස් පිරුණු ඔලුව අතගහන ගමන්. මං එයාට කිව්වා ඔයා පරිස්සමෙන් යන්න ඒ ලෝකේ ලස්සන ඇති, හනික අම්මාත් තාත්තාත් ඔයාගේ පාළුවට ඉන්නවා නේ කියලා.
ඇත්තටම මම තනිවෙයි කියලා දාලා නොයන තරමට මට ආදරේ කරපු මනුස්සයෙක්, මේ ලොකේ මං වෙනුවෙන් හිටියා ඔමී....
ඊට පස්සේ ආයේ ඒයාගේ වම් අත කිසිම වෙලාවක මාව හොව්වේ නෑ. නමුත් කොච්චර මාව දාලා ඒ ලොකේ ට යන්න කිව්වාත් අපේ හිත් ආදරේ ට කෑදරයි ලමයෝ... ඔමී මට අමාරුයි බම්...
( ඉකී ගසමින් අඩයි )
❤ හරි මම ඔයාට හෙට ගන්නම්.
💙 එපා... එපා... මේක කියලා ම ඉවර කරන්නම් මං අද. ඉතිං එයා මාව හෙව්වේ නැති වුණත් මම එයාගේ වම් අත අරන් මගේ අත් දෙකෙන් අත ගැව්වා ඒ ඇගිලි අත ගැව්වා. ඒ අත් ඒ ඇගිලි මගේ කැත කුණු අනන්ත අප්‍රමාණයක් අත ගහලා ඇති. ඒ අත් වලින් කොච්චර නම් ගුටි කාලා ඇද්ද. මං දන්න කාලේ ඉදන් හැම රැකම මාව අත ගාලා හොයලා ඇද්ද...
අන්තිමේට එදා රෑ 12.15 ට ඒ හුස්ම ටික නතර වෙන්නේ මගේ ම ඇස් ඉස්සරහා පිට ඒ අත් අන්තිමේට මගේ අත තදින් අල්ලා එක පාරටම අත් හැරිලා. මාව තනියම දාලා මේ ලොකෙන් සදහටම එයා යන්න ගියා ඔමී...... ( කෑ ගහලා අඩන්න ගත්තා )
❤ ඇති තරම් අඩන්න අදවත්. ඇයි ඔයා ඔච්චර ලොකු දුකක් හිතේ හිරකරං අඩන්නේ නැතිව හිටියේ මෝඩයෝ...
💙 ඔයා දැක්කා නේ ආච්චිව වලලද්දී මට ඒ දුක දරා ගන්න බැරිව අඩද්දී ද් ඒකටත් ඉඩක් ලැබුණේ නෑ කියලා... මට අමාරුයි ඔමී... හැමදාම වගේ රෑට මේවා මතක් වෙලා ඇඩෙනවා මට...
❤ මේ සිද්ධියටයි. ඔයාට පණ වගේ ආදරේ කරන ඒ මනුස්සයයි අතර සම්බන්ධය මොකක්ද ?
💙 ඔයා දන්නවා නේ. එයා මට පණ වගේ ආදරෙයි කියලා. මමත් එහෙමයි එයාට පණ වගේ ආදරේ ඔමී....
මම ආයේ කවියක කෑල්ලක් කියන්නම්. වෙල්වට් ප්‍රේමය කවි පොතෙන්
----------------------------------------------------------------
66. උඹ තරුව ! මම ඉර !
උඹට ආදරේ කරන එකම රිස්ක් එකක්.
මං ආසයි ඒ රිස්ක් එක ගන්න.
ඉතුරු ජිවිතේ පුරාවට...
---------------------------------------------------------------
හැමෝම විරුද්ධ වෙද්දී මම එයාට ආදරේ කලා. දෙවියන් වහන්සේ එපා කියද්දී ආදම් සහ ඒවා තහනම් ගහේ ගෙඩි කෑවා වගේ. ඒ ඇයි කියලා මමවත් දන්නේ නෑ ඔමී... එයා ළග ඉද්දී මට Safety Zone එකක Comfortable Zone එකක හැගිමක් දැනෙනවා. ඇත්තටම ඒ පපුව උඩ හුස්ම ටික නතර වෙන්න කියලා දවසක් ඒයාගේම පපුව උඩ මැතිරුවා මම.
❤ ඔව්.. දෙන්නාට දෙන්නා මෙච්චර ආදරේ නම්. ඇයි ? මෙහෙම නිහඩව ඉන්නේ කියලා මට තෙරෙන්නේ නෑ....
💙 එයා මට වඩා හත්ගොව්වාක් දුර තියෙන පොළවක ඉන්නේ ඔමී... මම මේ ගෙන්දගම් පොළවේ ඉන්නේ. අනික එයා ගියේ දිනින්න. ඒ ගමන මල් වලින් පිරුණු සමනල මාවතක් නෙවෙයි කියලා අපි දන්නවා නේ. එයාට පලවෙනී දෙවෙනී බාධක හමුවෙන්න ගද්දීම එයා කඩාගෙන වැටුණා ඔමී....
ඔයා මේ ලගදී වෙල්වට් ප්‍රේමය පොතේ කවියක් ලිව්වා නේද ?
61. නපුරෙකුට පෙම් කලෙමී ! කියලා
ඇසිය යුතු හා නොඇසිය යුතු කියලා. මට ඒ ඇසිය යුතුයි කියන ප්‍රශ්නවත් අහන්න එයා ඉඩ දුන්නා නෑ ඔමී...
❤ ඒ කියන්නේ එයා ඔයාට බැන්නද ? ඔයාව ඒපා කිව්වා ද ? නැත්තම් මේ සම්බන්ධය නතර කරමු කිව්වාද ? කියනවා මට කියනවා...
💙 නෑ... එයා මට එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වා නම්, මම ඒ දුක දරාගන්නවා ඔමීයෝ... මම ඔයාට ඒක කියන්නේ නෑ. ඔයාම ඒක කියවලා බලන්න.
---------------------------------------------------------------
වෙල්වට් ප්‍රේමය කවි පොත
68. පිරිමී ආදරේ
ආදරේ ක්‍රියා පදයක් !
LOVE IS A VERB !
එච්චරයි !
ඒ තියරිය මට කියා දුන්නේ
ඔබ
ඉතින් ඒ පිරිමි ආදරෙට මං හරි ආදරෙයි.
-----------------------------------------------------------------
කියන කවි පේළීයට උඩ තියෙන කවී පේළීවල තියෙනවා උත්තරය. වෙල්වට් ප්‍රේමය කවි පොතක් ඔයා ලග තියෙනවා නේද ?
❤ ඔයාට කොහෙන්ද ඒ පොත ? ඔයා කවදාවත් පොත් කියවන කෙනෙක් නෙවෙයි නේ...
💙 අන්තිම පාරට අන්තිම කවියත් කියන්නම් මම. මේ කවියට නමක් නම් නෑ. වෙල්වට් ප්‍රේමය කවි පොතේ...
නමුත් අංකයක් තියෙනවා
---------------------------------------------------------------
37.
සිප ගැනීම් දාහකට ගේන්න බැරි සතුටක්
ඒ එක බැල්මකින් ඔබට ලැබෙනවා.
ඒ නිසා දැනෙන කෙනෙක් ලැබුණත්,
නොලැබෙන බව දන්නවනම් " ආදරෙයි " කියන්න එපා.
ඒ වචනෙ සාපයක් !
ආදරෙයි.
---------------------------------------------------------------
ඔමී... එයා මට එයාගේ පණටත් වඩා ආදරේයි. මම තාමත්, හැමදාමත් එහෙමයි.
Forget me not පොතේ කියනවා වගේ. "පස්වෙනි ඍතුවට නමක් නෑ අනේ. ඒකෙ තියෙන්නෙ අපිට අමතක වුණු දේවල්, අමතක වුණු මතක හැම එකක්ම, ඔයාගෙ පෙම්වතාගේ සුවඳත් එහෙ ඇති."
ඔව් !!!! ඒ පස්වෙනී සෘතුවේ දී එයාව, එයාගේ මතකය, එයාගේ සුවද, ඒයා ආස කරපු සුවද විලවුන් බෝතයේ ඉදං මම හැංගුවා ඔමී...
තාමත් ඔයාට තේරෙන්නේ නෑ නේද. ඉන්න කියන්නම්. මම එයාගෙන් ඈත් වුණේ කැමත්තකින් නෙවෙයි. ඒ මගේ ජිවිතේ මම ආදරේ කරන හුගාක් මිනිස්සු හරි ඉක්මනට ඈතට යනවා. ඉතිං දැන් මම හරි බයයි කෙනෙක්ට ලං වෙන්න. මගේම කියලා කෙනෙක් ලං කරගන්න. ඒ මගේ දෛවය වෙන්න ඇති. තමාත් හිතාගන්න බැරි ඒ මගේ ලැබිමටද නොලැබිමටද කියලා. මම ලං වෙන හැම කෙනාම ඉක්මනින් මේ ලොකෙන් යනවා. නැත්තම් මගේ අවාසනාවන්තකමට ඒයාලාට බාධක, දුක් කරදර, වේදනාවන්, ප්‍රශ්න එනවා. ඉතිං මට ඒයාගේ සතුට විතරයි වැදගත්, ඒකයි මම එයා දිනලා මාව ඇවිත් එක්කං යනකං පැත්තකට වෙලා බලාං ඉන්නේ. එයාව අමතක කලේ නෑ. මගේ අවාසනාවන්තකම එයාව පරාජිතයෙක් කරයි කියලා ඈත් වුණා මිසක්.
මම 10 ක් කලොත් එකෙන් 9 ක් එයා අකමැති දේවල්. ඉතිං පිඩනයකින් ඉන්න පිරිමියෙක් ව මම ලග ඉදන් තවත් පිඩනයකට පත් කරනවාට වඩා, දුර ඉදන් සුබ පතන්න තිරණය කලා. එක දරාගන්න අමාරුයි තමයි. එත් මොනවා කරන්න ද මම...
දවස මට මැරිගෙන ආදරේ කරන ඒ පිරිමී ආත්මය, මගේ අත් තදින් අල්ලලා, මම ඔයාව දාලා කවදාවත් යන්නේ නෑ කියලා කිව්වෝත්. මම ඒ අසරණ කමටම මැරිලා වැටෙයි ඔමී... දැන් මිනිස්සුට ඉන්න කියන්නත් බයයි, යන්න කියන්නත් බයයි...
දවසක ඒ කෙස් ගස් නැති අමුතු දහඩිය සුවදක් අයිති, දරදඩු, ආඩම්බරකාර පිරිමියාගේ පපුව උඩ මේ හුස්ම අත් හරින්න තිබ්බොත් මට ඇති ඔමී... මම එයාට ගොඩාක් ආදරෙයි. මට බය මගේ අවාසනාවන්තකම එයාට බලපෑමක් කරයි කියලා. මේ කිසිම දෙයක් එයාට කියන්න ඒපා. එයා මං ගැන වැරදියට හිතාගෙන වැඩ වලට අවදානය යොමු කරලා මේ ජිවිතේ දිනින්න ඔනේ. එයා ගොඩාක් දුක් වින්දා ඔමී... මගේ පණ කොහෙ හිටියත් සතුටින් සැනසීමෙන් ඉන්න ඔනේ. මං එයාට තවමත් ගොඩාක් ආදරේයි ළමයෝ..... හා මේ ඔයාට පුලුවන් නම් "වෙල්වට් ප්‍රේමය කවි පොත" කියවන්න ඒක ලියලා තියෙන්නේ අභිශේකා විමලවීර. හැබැයි අඩන්නේ නැතිව කියවන්න ඔමී....
ඔමී...... ඔමී..... ඔමී......
❤❤❤ එයාට කියන්න එපා කිව්වාට, එයා මේ හැම දෙයක්ම අහං හිටියේ කියලා මම කොහොමද කියන්නේ. අන්තිමේට මට කියන්න තියෙන්නේ වෙල්වට් ප්‍රේමය කවි පොතේ
7 වෙනී කවිය
---------------------------------------------------------------
7. නිස්සාර
ආදරය කියන්නේ, පපුව හීරෙන එක.
ඒ මැද්දෙන් හිනා වෙන එක.
---------------------------------------------------------------
පරිස්සමෙන්.....
✒️ මම ඔමී

♥️
ReplyDelete